නි. පොලිස්පතිගේ උපාධි සහතිකයේ කොස්සක්


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නියෝජ්‍ය පොලිස්පති නිලයට මේ වනවිට උසස්වීම් ලබා රාජකාරියේ නිරතව සිටින නිලධාරියකු සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සේවයට බැඳීමේදී ඉන්දියාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ලබාගත් බව කියමින් ඉදිරිපත් කර තිබූ උපාධි සහතිකය සැබෑ එකක්දැයි යන්න තහවුරු කර ගැනීම සඳහා ඉන්දියාවේ  එම විශ්වවිද්‍යාලයේ බලධාරීන්ගෙන් තොරතුරු වාර්තාවක් ඉල්ලා ඇති බව ජාතික පොලිස් කොමිසම පවසයි.

මෙම නිලධාරියා එම වකවානුවේ ඉන්දියාවේ රැඳී සිටියේද යන්න ගැනද තොරතුරු ඉල්ලා ඇති බව ජාතික පොලිස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (28) පැවැසීය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉන්දියාවේ පිහිටි එම පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඊමේල් ලිපිනය ලබාගෙන මෙම තොරතුරු ඉල්ලා ඊමේල් පණිවිඩයක් යවා තිබෙන බව කොමිසමෙන් ලැබෙන ආරංචිමාර්ගවලින් දැනගැනීමට ඇත.

මීට අමතරව මෙම පොලිස් නිලධාරියා සහකාර පොලිස් අධිකාරි නිලයට බැඳෙන වකවානුවේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් නියමකර තිබූ ප්‍රමාණය සපුරා තිබුණේද යන්න ගැන තහවුරු කර ගැනීමට පොලිස්පතිවරයාගෙන් ඒ හා සම්බන්ධව තොරතුරු ඉල්ලා ලිපියක් යවා ඇති බවද ජාතික පොලිස් කොමිසමේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු පොලිස් අධිකාරිවරයකු සහ සහකාර පොලිස් අධිකාරිවරයකු මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව ජාතික පොලිස් කොමිසමට කර ඇති පැමිණිලි මත එහි විශේෂ විමර්ශන අංශය විසින් මෙවැනි පරීක්ෂණයක් සිදුකරන බව කොමිසම පවසයි.