(අජන්ත කුමාර අගලකඩ නිව්යෝක් නුවර සිට)
ශ්‍රී ලංකාව තුළ නැවත යුද්ධයක් ඇති නොවන්නට සියලු ජාතීන් තුළ සමගිය ඇති කරන්නට රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දෙන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා සියලු රජයන්වලින් අද(20) ඉල්ලීමක් කළේය.
ආර්ථික සමෘද්ධියක් ඇති කරමින් හා යහපත් සමාජයක් ගොඩනගමින් ශ්‍රී ලංකාව ආදර්ශමත් රටක් ලෙස ඉදිරියට ගෙනයන්නට ඉඩ දෙන්නැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනපති මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72වැනි සැසිවාරය අමතමිනි.
එම සැසිවාරයෙ එක්සත් ජාතින්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස් මහතා සහ ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු විදෙස් නායකයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ(19) ආරම්භ විය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 3ට සැසිවාරය ඇමතීය. එහිදී අදහස් දැක්වූ ජනපති ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය සුරකිමින් යන්නා වූ ගමනේදී නිදහස් සාමකාමී රටක් වශයෙන් සෙමින් ගමනක් ගොස් පැහැදිලි ඉලක්කයක් කරා යන්න සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවද සඳහන් කළේය.
ඇතැම් අන්තවාදී පිරිස් කඩිනම් විසඳුම් බලාපොරොත්තු වුවද වසර 30ක යුද්ධයක් පැවැති රටක් ලෙස සෙමින් යන සාර්ථක ගමනක් යායුතු බව කී ජනපති වේගවත් ගමන අනතුරුදායක බවද කීවේය.
ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් හා රට තුළ ජීවත්වන සියලුම ජාතීන් අතර සහෝදරත්වය ගොඩනමින් සෑම කෙනකුටම නිදහසේ ජීවත්විය හැකි සමාජයක් ගොඩනැගීමට තම රජය කටයුතු කරන බවද ජනපති එහිදී කීවේය.
විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් සාධාරණ සමාජයක් ගොඩනැගීමේ කාර්යයට තම රජය කැපවී සිටින බවද පැවසූ ජනපතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව යුද කාලයේ පැවැති තත්ත්වයන් ඇසුරින් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව රජය සැලකිල්ලට ගෙන ඊට ප්‍රමුඛතාව දී කරුණු විසඳීමට කටයුතු කරන්නේ යැයි ද කීය. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීම යන කරුණු පදනම් කරගෙන රජය ගෙවී ගිය වසර දෙක හමාර තුළ සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කිරීමේ කාර්යය ඉටුකර තිබෙන බවද ජනපති ප්‍රකාශ කර සිටියේය.