නැවත පදිංචි කිරීමේ වැඩසටහනට එක්සත් රාජධානියේ සහයෝගය


තිස් වසරක යුද්ධය නිසා අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම වෙනුවෙන් ‘තිරසර නැවත පදිංචි කිරීමේ වැඩසටහනක්’ සඳහා සහයෝගය දීමට එක්සත් රාජධානිය තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඒ වෙනුවෙන් එක්සත් රාජධානියේ රජය සමඟ ගිවිසුමකට එළැඹ තිබෙන අතර ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිය මහ බ්‍රිතාන්‍යය පවුම් මිලියනක (එක්සත් ජනපද ඩොලර් මිලියන 1.3ක) වටිනාකමකින් සමන්විත වේ. 

උතුරු හා නැගෙනහිර පළාත්වල මෑතකදී නිදහස් කරන ලද ඉඩම් කේන්ද්‍ර කරගනිමින් මෙම තිරසර නැවත පදිංචි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන අතර එයින් යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල 2,500කට ආසන්න ජනතාවකට සෘජු සහන සැලසේ. 

මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කරමින් තිස් අවුරුදු ගැටුම හේතුවෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම, එම ජනතාව නැවත ඔවුන්ගේ වාසස්ථානවලට යෑමට සැලැස්වීම, සමාන හා විනිවිද අයුරින් සේවාවලට ප්‍රවේශවීම සඳහා ආයතන ශක්තිමත් කිරීම, ජීවන වෘත්තීය අවස්ථා දියුණු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වී තිබේ. 

ශ්‍රී ලංකා රජයේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක ‘ශ්‍රී ලංකා සාමය ගොඩනැගීමේ ප්‍රමුඛතා සැලැස්ම’, එක්සත් ජාතීන්ගේ සහයෝගය ඇතිව මෙරට ක්‍රියාත්මක කෙරෙන දීර්ඝකාලීන සාමය ගොඩනැගීමේ හා සංහිඳියා වැඩසටහන සහ ගැටුම් නිසා අවතැන්වීම සඳහා දීර්ඝකාලීන විසඳුම් සඳහා වූ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව ගැටුම්වලින් බලපෑමට ලක්වූ ප්‍රජාවල සුබසාධනය වර්ධනය කිරීමට සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ද මෙම වැඩසටහනින් බලාපොරොත්තු වේ.   

055