නාවික හමුදාව ඇමෙරිකා වෙරළ ආරක්ෂක “ෂර්මන්” නෞකාව බාර ගනී


(ඉන්දිකා රාමනායක)

ඇමරිකා එක්සත් ජනපදය මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදුන්  ඇමරිකානු වෙරළ ආරක්ෂක බලකායට අයත්  “ෂර්මන්” (USCGC  Sherman) නෞකාව  නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත අද (28) පස්වරුවේ  හවායි  දුපතේ හොනලුලු හිදී  බාර දුන් බව නාවික හමුදාව කියයි. 

ඇමරිකානු  වෙරළ ආරක්ෂක බලකායේ   අත්පත්කර ගැනීමේ අංශයේ  සහකාර ආඥාපති හා  ප්‍රධාන නිලධාරි  රියර් අද්මිරාල්   හේකොක් මහතා විසින් මෙම නෞකාව  ශ්‍රි ලංකා නාවික හමුදාපතිවරා වෙත  බාරදුන්නේය.

“ෂර්මන්” වෙරළ ආරක්ෂක  නෞකාව දිගින් මීටර් 115 ක් වූ අතර  එය නවීන ආයුධ වලින් සන්නද්ධ  නෞකාවකි. මෙය නාවික හමුදා නෞකා අතර එක් වු පසු නාවික හමුදාවේ දිගම නෞකාව බවට පත් වන බවද නාවික හමුදාව කියයි.

“ෂර්මන් ” නෞකාව ඇමැරිකානු  එක්සත් ජනපදය  විසින් ශ්‍රී ලංකාවට ප්‍රධාන කළ දෙවන නෞකාව වන අතර මීට පෙර නාවික හමුදා “සමුදුර”  ප්‍රථම නෞකාව  බවද නාවික හමුදාව පවසයි.

මෙම නෞකාව  ශ්‍රී ලංකාව බලා යාත්‍රා කිරීමට පෙර  මුළු ශාන්තිකර සාගරය හා ඉන්දීය සාගරය  ආවරණය වන  පරිදි  දින 40  පුහුණු   වැඩසටහනකට සහභාගි වීමට නියමිත අතර 2019 වසරේ  අප්‍රේල්  මාසයේ අග එය මෙරට සේන්දු වීමට නියමිතව ඇත.

 

ඡායාරූප - ශ්‍රී ලංකා නාවික හමුදාව මාධ්‍ය අංශය