(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර ජේසු බිළින්ඳාගේ කන්‍යාරාම ජාතික පාසලේ ප‍්‍රාථමික අංශයේ ගොඩනැගිලි කිහිපයක් නායයාමේ අවදානමට ලක්වීම නිසා එහි ප‍්‍රාථමික අංශය අද(06) වසා දැමීමට උපදෙස් දුන් බව සබරගමු පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්‍ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පවසයි.
අවශ්‍ය වුවහොත් හෙට (07) දිනයේ ද එම අංශයට නිවාඩු දීම ගැන සලකා බලන බවද ලේකම්වරයා කියයි.
පන්ති 15ක් පැවැත්වෙන ප‍්‍රාථමික අංශයේ 2,3,4 සහ 5 යන පන්ති පැවැත්වෙන ගොඩනැගිලි තුනක් මෙසේ අවදානමට ලක්ව ඇත. ඉන් ගොඩනැගිලි දෙකක් වසර 100කටත් වඩා පැරණි බව මව්පියෝ පවසයි.
ගංවතුර තත්ත්වය හේතුවෙන් එම පාසලේ ශිෂ්‍යාවන් 820 දෙනකුගේ පමණ පොත්පත්, ඇඳුම් සපත්තු, ආදි සියලූ උපකරණ ගංවතුරට හසුවී විනාශ වී ඇතැයි වාර්තා වන බව විදුහල්පතිනි පී.ජී.එස්. ප‍්‍රියදර්ශනී මහත්මිය අප කළ විමසුමක දි පැවසුවා ය.
ගංවතුර නිසා වසා දමා තිබූ පාසල පටන් ගත්ත ද සමහර ශිෂ්‍යාවන් පාට ඇඳුමින් එන බවත් සමහර ශිෂ්‍යාවන්ට හිස් අතින් පාසල් එන්නට සිදුව ඇති බවත් විදුහල්පතිනිය කීවා ය.





