(රංජිත් රාජපක්ෂ)
නානුඔය නගරයේ දී පාසල් දැරියක් ටිපර් රියකට යටවී මියයෑමෙන් පසු ඇතිවූ කලහකාරී තත්ත්වයෙන් පසු නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු රථවාහන අංශයේ නිලධාරීන් රැසක් තාවකාලිකව නුවරඑළිය මූලස්ථාන පොලිසියට අනුයුක්ත කර ඇත.
මධ්‍යම පළාත් නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගේ උපදෙස් මත එසේ මාරු කරනු ලැබ ඇත්තේ නානුඔය පොලිසියේ ස්ථානාධිපතිව සිටි එස්.ප්‍රියන්ත අමරසේකර මහතාය.
එම අනතුරින් පසු කලහකාරී ලෙස හැසුරුණු නානුඔය වතු කම්කරුවන් පිරිසක් අනතුර සිදුකළ රියදුරා ඉල්ලා සිටි අතර පොලිසිය රියදුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු රථවාහන අංශයේ නිලධාරීන් මාරුකරන ලෙස ලිඛිත පොරොන්දුවක් ඉල්ලා ඇති අතර එය ඉටු කරන්නේ නම් දැරියගේ සිරුර ගෙනයාමට හා රථවාහන ගමනාගමනයට මාර්ගය විවෘත කරන බව කියා ඇත. ඒ අනුව ඉහළ පොලිස් නිලධරයකු ලිඛිත පොරොන්දුව ලබාදී ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ රියදුරු ලබන 28 තෙක් රිමාන්ඩ් කරන ලෙස නුවරඑළිය දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ඉන්දිත රුවන් ද සිල්වා මහතා නියෝග කළේය.

