(නිමන්ති රණසිංහ)
කොළඹ නගර සභාවේ නාගරික භාණ්ඩාගාර නිලධාරිනියට සාපරාධී බිය ගැන්වීමක් සිදුකර අඩන්තේට්ටම් කළැයි කුරුදුවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්රී මොහොමඩ් රම්සි මහතා රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ආර්. බණ්ඩාර නෙලුම්දෙණීය මහතා අද (28) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරුණේ නො. 36, ඩෙවෝන් පටුමග, ග්‍රෑන්ඩ්පාස් පදිංචි කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්රී මොහොමඩ් හුසේන් සිද්ධික් මොහොමඩ් රම්ජි මහතාය.
කොළඹ මහ නගර සභාවේ නාගරික භාණ්ඩාගාර නිලධාරිනියට බැණ තර්ජනය කර සාපරාධී බිය ගන්වා අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙසට සැකකරුට දන්වා යැවීමෙන් පසු වරද කියා දී අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුදුවත්ත පොලීසියේ අධිකරණ අංශයේ පොලිස් සැරයන් විජිත නිලධාරීයා සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සී සී ටී වී දර්ශන පරීක්ෂා කර සාක්ෂි සටහන් කර ගත් බවයි.
ඒ අනුව, මෙම සිද්ධියට අදාළව විමර්ශන බොහෝ දුරට අවසන්ව ඇති බවත් පැමිණීල්ලක් ගොනු කරන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් ඉල්ලීය.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ ෆයසිර් මුස්තාපා මහතා සදහන් කර සිටියේ තම සේවාදායකයා බැන තර්ජනය කිරීමක් සිදු නොකළ බවත්, මෙම වරද ඇප ලබා දිය හැකි වරදක් වන බවත්ය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු සිදුකර ඇත්තේ ඇප පනත ප්‍රකාරව ඇප ලබා දිය හැකි වරදක් බැවින් ශරීර ඇප මත සැකකරු මුදා හැර ලබන දෙසැම්බර් මස 13 වැනිදා තෙක් නඩුව කල් තැබීය.

