නව මහා නා හිමි ඒකච්ඡන්දයෙන්


හුරීකඩුව විද්‍යාසාගර පරිවේනාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක නාපාන පෙමසිරි නාහිමියෝ (90)  මින් මද වේලාවකට කලින් ශ්‍රීලංකා රාමඤ්ඤ නිකායේ නව මහා නාහිමි ලෙස ඒකච්ඡන්දයෙන් පත් කරගනු ලැබූහ. පෙමසිරි නාහිමියෝ රාමඤ්ඤ නිකායේ දහතුන් වැනි මහා නාහිමියෝය. නව නාහිමියෝ 1998 සිට අධිකරණ සංඝනායක ධුරය හොබවති. රාමඤ්ඤ මහා නිකායේ සංඝ කරක සභාවට  120 නමක් ඇතුළු වෙති. මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යලයයේ අද පැවති රැස්වීමට 76 නමක් වැඩම කර සිටියහ. පෙමසිරි හිමියන් නව නායක පදවියට පත් කළ යුතුයැයි මඩිතියවෙළ මේධංකර අනුනාහිමියෝ යෝජනා කළහ. ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ යෝජනාව ස්ථිර කළහ. වෙනත් යෝජනා නොවුයෙන් පෙමසිරි හිමියන් නව මහා නායක හිමියන් ලෙස ඒකමතිකව පත් වූ බව ලේඛකාධිකාරි මාතලේ ධම්මකුසල නාහිමියෝ ප්‍රකාශයට පත් කළහ. මහනාහිමියෝ 1923 ජනවාරි 20 වැනිදා මහනුවර උඩ ගම්පහ කෝරලයේ නාපානේ දී  උපත ලැබුයේ  ඇත්තේ ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර ටිකිරි බන්ඩාර නමිනි. ඒකනායක මුදියන්සේලාගේ මහ කුඹුරේ ගෙදර කිරිබණ්ඩාර නිලමේතුමා හා නියංගොඩ හිටි බන්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැනිකේ මහත්මිය උන්වහන්සේගේ මව්පියෝය. පවුලේ සහෝදර සහොරියෝ හත් දෙනෙකි. පරම විඥානාර්ථ සමිතිය වලල ගම්මානයේ පවත්වාගෙන ගිය පාසලෙන් හා අමුණුගම ගුන්නෑපාන විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබු ටිකිරි බණ්ඩා 1933 ජූලි මස අටවැනිදා හුරීකඩුව මහා මහේන්ද්‍ර පුස්තකාලයේදී නාපාන පෙමසිරි නමින් පැවිදී බවට පත්ව ඇත්තේ තෙලිපැහැ සීරි සීලවංශ අනුනාහිමියන්ගේ 42 වැනි ගෝල හිමිනම වශයෙනි. 1935  සිට වැල්ලවත්ත ධර්මෝදය මහ පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ පෙමසිරි සාමනේර හිමියෝ 1943 අගෝස්තු  හය වැනිදා කටුගස්තොට පිගාඔය උධකුක්ඛේප සීමාමාලකයේ දී උපසම්පදාව ලදහ. 1945 සිට නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනේදී අධ්‍යාපනය හැදෑරූ පෙමසිරි හිමියන්  විනය විශාරද උපාධිය ලදහ. 1954 දී රාජකීය පණ්ඩිත උපාධිය ලැබූ පෙමසිරි හිමියෝ 1967 ඇරඹුණු  හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙනේ ප‍්‍රථම පරිවේනාධිපති ධූරයටද පත්වූ අතර 1975 දී එම පිරිවෙන් විහාරාධිපති පදවියට ද පත් කරනු ලැබූහ. 1980 දී මහනුවර සංඝ සභාවේ සභාපති පදවියටද 1986 දී ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනුවර ප‍්‍රාදේශීය සංඝ සභාවේ ලේඛකාධිකාරි පදවියටද,1987 දී නිකායේ සඤ්ඤා ලේඛකාධිකාරි ධූරයටද , පත්ව ඇති පෙමසිරි නාහිමියෝ 1998 ජූනි 27 වැනිදා අධීකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලදහ. සදසිරි දුනුවිල සදගිරිලෙන් විහාරය, කුණ්ඩසාලේ වරාපිටිය බෝධිරුක්ඛාරාමය, පල්ලෙකැලේ සීලවංශ බෞද්ධ මධ්‍යස්ථානය, හාමින්දාගොඩ සිරි සුමනාරාමය, රජවැල්ල ශී‍්‍ර පූර්වාරාමය සහ රජවැල්ල අළුත්වත්ත මිහිදු ධර්මපීඨ විහාරයේ අධිපතිත්වය හොඹවන ඒ හිමියනට 2008 දී මියන්මාර රජයෙන් ”අග්ගමහා පණ්ඩිත ”ගෞරව උපාධීය පිරිනැමීය.