නල්ලුර් කෝවිලේ වාර්ෂික උත්සවයට එන බැතිමතුන් සීමා කරයි


 

(රොමේෂ් මධුෂංඛ)

           

පවතින කොරෝනා වයිරස අවදානම හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් ලෙසට ඓතිහාසික යාපනය නල්ලූර් කෝවිලේ මෙවර පැවත්වෙන වාර්ෂික මංගල්‍යයට සහභාගී වන බැතිමතුන් සීමා කිරීමට සිදුවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.                  

යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 25 ක් වෙනුවෙන් අංග සම්පූරණ නිවාස 25 ක් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් සාදා නිවෙස් හිමිකරුවන් වෙතට ප්‍රදානය  කිරීමේ උත්සව අවස්ථාවකට  එක් වෙමින් හමුදාපතිවරයා මෙසේ කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිතුමා මෙසේ ප්‍රකාශ කළේය.

‘නල්ලූර් කෝවිලේ වාර්ෂික පූජාව ලබන 24 වැනිදා පැවත්වීමට නියමිතව තිබෙනවා. අපි දන්නවා යාපනයේ වගේම උතුරේ ජීවත් වන දමිළ හින්දු ජනතාවට මෙය වැදගත් උත්සවයක්. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේ තිබෙන කොරෝනා වයිරස අවදානම තත්වය අනුව පසුගිය වසරවලදී මෙන් සහභාගී වූ බැතිමතුන් සියලු දෙනාට මේ අවස්ථාවේ සහභාගී වීමට නොහැකි වෙයි කියලා.

ශාරීරික දුරස්ථභාවය රැකගනිමින් මුඛ ආවරණ පැළඳගෙන යම් කිසි බැතිමතුන් ප්‍රමාණයකට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙයි. මොකද අපි දන්නවා මහනුවර ඇසළ පෙරහර, කතරගම පෙරහර ඒ වගේ බෞද්ධ පෙරහරවල්ද පවත්වනවා. ඒ හැම අවස්ථාවක් වෙනුවෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දී තිබෙන උපදෙස් අනුව තමයි අප සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න සිදු වෙලා තියෙන්නේ .

නිවාස හා ජලසම්පාදන අමාත්‍යංශයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන අනුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ උපදෙස් මත 51 වන සේනාංකයේ 5 වන ඉංජිනේරු සේවා බළකාය විසින් මෙම පුන්කුඩතිව් නිවාස ඉදිකිරීම වෙනුවෙන් ශ්‍රමදායකත්වය දරනු ලැබීය.

යුද්දෙන් පසුව යාපනයේ නැවත පදිංචි අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රජය හා යුද හමුදාව විසින් ලබා දෙන නව නිවාස වැඩසටහනේ තවත් පියවරක් වශයෙන් ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, උතුරු පළාත් අධ්‍යපාන ලේකම් එල්. ඉලංකෝවන්, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය, 51 වන සේනංකාධිපති මේජර් ජෙනරල් ලලිත් රත්නායක, යාපනය නියෝජ්‍ය පොලිස්පති කේ. මහේෂණ් ඇතුළු පිරිසක් සහභාගී වුහ.