(තිළිණි ද සිල්වා)
නයිජීරියාවේදී නීතිවිරෝධී ලෙස නෞකාවලට තෙල් ලබා ගනිමින් ඉන්ධන ජාවාරමක නිරත වූවා යැයි කියන චෝදනා මත එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික නාවිකයන් හත්දෙනා නිදහස් කරගැනීම සම්බන්ධයෙන් නයිජීරියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය එරට ආර්ථික සහ මූල්‍ය අපරාධ කොමිසම සමඟ සාකච්ඡා කළ බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
අදාළ චෝදනා යටතේ දැනට නීතිමය ක‍්‍රියාමාර්ග සිදුකෙරෙන බවත් , ලාංකික නැවියන් පිරිස නිර්දොෂී යැයි ඔප්පු වුවහොත් ඔවුන් කඩිනමින් නිදහස් කරන බවද එම නයිජීරියානු කොමිසම එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාශය කියා සිටී.
මේ අතර නයිජීරියා බලධාරීන් අත්අඩංගුවේ පසුවන මෙම ලාංකිකයින් පිරිසගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ බලධාරීන් පිරිසක් ඔවුන් රඳවා සිටින බීක්‍රොෆ්ට් නාවික කඳවුර වෙත ඉකුත් 20 වැනිදා ගොස් ඇති අතර එහිදී තමන්ව හැකි ඉක්මනින් නිදහස් කිරීමට පියවර ගන්නැයි එම පිරිස ශ්‍රී ලංකා බලධාරීන් ගෙන් ඉල්ලා ඇත.
එලෙස ඉන්ධන ලබා ගැනීම නීතිවිරෝධී යැයි තමන් නොදැන් සිටි බවද එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් හමුවේ පවසා ඇතැයි ද විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
නීතිවිරෝධී ලෙස නෞකාවලට තෙල් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් සීබෲක් නැමැති නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් එම ශ්‍රී ලාංකිකයින් හත්දෙනා ඇතුළු 66 දෙනෙකු පසුගිය දෙසැම්බර් 12 වැනිදා නයිජීරියා නාවික හමුදා අත්අඩංගුවට පත් විණි.
නයිජීරියානු නාවික හමුදාව පසුගිය දෙසැම්බර් මාසය තුළ කළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබූ අතර ලාංකිකයින් හත් දෙනාට අමතරව නයිජීරියානු ජාතිකයින් 57 දෙනෙකු සහ ඝානා ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව සදහන් වේ.
ලාංකික නැවියන් හත් දෙනා සිටි නෞකාවේ ඒ වන විට තිබූ බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 838ක් ද නයිජීරියානු බලධාරීන්ගේ බාරයට ගෙන ඇත.

