නයාරු මුහුදේ මසුන් මැරීමට ආ දකුණේ ධීවරයෝ ආපසු යති


( රොමේෂ් මධුෂංඛ) 


මුලතිව් නයාරුහි සිටි සංචාරක් ධීවරයින් හේතුවෙන් ධීවර වාඩිවලට ගිනි තැබීමෙන් හා පැවති විරෝධතාවන් වලින් අනතුරුව දකුණු පළාතේ සිට නයාරුවල මසුන් ඇල්ලීමට පැමිණි ධිවරයින් සිය ධීවර ආම්පන්න රැගෙන නැවත දකුණු පළාත් වෙත මේ වන විට පිටත්වීම ආරම්භ කර තිබේ.


මුලතිව්හි සංචාරක ධීවරයින් ඉවත්වන අවස්ථාවන්හි දැඩි පොලිස් ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඉවත්වීමට සිදුව ඇත්තේ පසුගියදා සංචාරක ධීවරයින්ගේ වාඩි ගිනි ගැනීමෙන් පසුව සංචාරක ධීවරයින් ඉවත්වීමේදී ගැටුමක් ඇති වේ යැයි යන අවදානම හේතුවෙනි.


නයාරු ප්‍රදේ‍ශයේ සංචාරක ධීවර කර්මාන්තයේ යෙදී සිටි ධීවරයින් පළවා හරින ලෙසත් සංචාරක ධීවරයින් විසින් සිදු කරන තහනම් දැල් ආම්පන්න යොදා සිදු කරන ධීවර කටයුතු නවතන ලෙසටත්  පසුගියදා මුලතිව් ධීවරයින් විරෝධතා වැඩසටහන් පැවැත්වු අතර, අදාළ විරෝධතාවයන්ගෙන් අනතුරුව පසුගිය 13 වැනිදා නයාරු ප්‍රදේශයේ සංචාරක ධීවරයින් නැවති සිටි ධීවර වාඩි වෙතද කිසියම් පිරිසක් ගිනි තබා තිබුණි. 


නයාරු ධීවර වාඩිවලට ගිනි තැබීමෙන් ධීවර වාඩි 8 ක් සහ බෝට්ටු 2 ක්  ගිනිගෙන විනාශ වි ඇති අතර, ධිවර වාඩිවල තිබු දැල් ආම්පන්න තොගයක්ද ගින්නට හසු වී විනාශ වි තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී  ටී. රවිහරන් මහතා පැවසූවේ දකුණු පළාතේ සිට නයාරු වෙත ධීවර ජනතාව පැමිණ ධීවර කටයුතු සිදුකිරීම හේතුවෙන් මුලතිව් ධීවර ජනතාවට අසාධාරණයක් සිදුව ඇති බවත් දකුණේ ධීවරයින්ට මසුන් ඇල්ලීමට විශාල ප්‍රදේශයක් පවතින බැවින් අදාළ සංචාරක ධීවරයින්ට ඇති වු ගැටළුව හමුවේ නයාරු ප්‍රදේශයේ නැවති සිටි ධීවරයින් ඉවත් කරන ලෙසට තමන් ඉල්ල සිටි බවයි.