නට නටා වාහන හසුරවයි


ඇමරිකාවේ රෝඩ් අයිලන්ඩ්හි මංසන්ධියක රථ වාහන හසුරුවණ පොලිස් නිළධාරියෙකි. සැමගේ අවධානය ඔහු වෙතය.ඒ ඔහු රථ වාහන හසුරුවන ආකාරය සාම්ප්‍රදායික පොලිස් නිලධාරියා හා සම නොවන හෙයිනි. ‘ඩිස්කෝ හා සල්සා‘ නැටුම් මහපාරේ නොමිලයේ රඟදක්වමින් උඩ පනිමින්, ගැස්සෙමින්, පැද්දෙමින්, ඇඹරෙමින්, දිගහැරෙමින් ඔහු රථ වාහන හසුරුවන ආකාරය බලන් ඉන්නට අපූරුය. නටන රිද්මයට අනුවම ඔහු සිය පොලිස් නළාවද හඩවයි. ටෝනි ලෙපෝර් (35) නම් මේ පොලිස් නිළධාරියා මුළු ඇමරිකාවේම ප්‍රචලිත චරිතයකි. ඒ රෝඩ් අයිලන්ඩ්හි ඔහුගේ ‘රාජකාරි රංගනය‘ නිසාමය. තම ප්‍රධානීන් පපාරේ යන එන අවස්ථාවලදී ඔහු වහා ‘ඩිස්කෝ‘ හා ‘සල්සා‘ අතහැරියේය. අන්තිමේදී මහජනයා ඔහුගේ ක්‍රමය අගය කළහ. ඒ නිසාම රාජකාරියේ ඔහුට ප්‍රශ්න ඇති නොවීය. වියට්නාම් යුද විරුවකු වන ටෝනි ඇමරිකාවට පැමිණි පසු පොලිස් සේවයට එක්වන්නේය. අනතුරුව කැපී පෙනෙන පොලිස් භටයෙකු ලෙස සිය මෙහෙවර ඉටුකරන ටෝනිව ඉහළ නිළධාරීන් විසින් රථ වාහන අංශයට අනුයුත්ත කරනු  ලැබ ඇත.මෙය කිසිසේත් ටෝනිගේ සිත් ගත් රාජකාරියක් නොවුනි.පාර මැද සිටගෙන රථ වාහන හැසිරවීම ඔහුට මහත් කම්මැලි හා නීරස දෙයක් විය.නිවසේදී රූපවාහිනිය නරඹමින් සිටින අතරතුරදී විකාශනය වූ හාසේ‍යා්ත්පාදක වැඩසටහනක් දුටු ඔහුට නව අදහසක් පහළ විය. ඒ සිය රාජකාරිය ‘නවීකරණය‘ කිරීමයි. මේ ‘නවීකරණ‘ රථ වාහන රියැදුරන් මෙන්ම පදිකයන්ද ආදරයෙන් වැළදගත් නිසා ටෝනිට සිය බළධාරීන්ගෙන්ද බාධා එල්ල නොවීය. 1984 වර්ෂයේ සිට රාජකාරි කර ටෝනි විශ්‍රාම ගියද රෝඩ් අයිලන්ඩ් වැසියන්ගේ දැඩි ඉල්ලීම නිසාම ටෝනි නැවත සේවයේ පිහිටුවීමට රෝඩ් අයිලන්ඩ්හි නගරාධිපති කටයුතු කළේය. ටෝනි සිය රාජකාරියට අමතරව මාර්ග නීති පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන්ද ඇමරිකාව පුරා පවත්වයි.