සන්ධානයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් වයඹට හා මධ්‍යම පළාතට තරඟ කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ නෑයන් 23 දෙනකුගෙන් 19 දෙනකුම තේරී පත්ව සිටිති.
ඉඩම් ඇමැති ජනක බණ්ඩාරන තෙන්නකොන් මහතාගේ පුත් ප්‍රමිත බණ්ඩාර මාතලේ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගත්තේය. ඇමැතිගේ ඥාති පුත් තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වී ඇත.
නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායකගේ පුත් චින්තන ඒකනායක මාතලේ දිස්ත්‍රික්කයෙන් තේරීපත්වී සිටී. ඒකනායකගේ සොයුරු හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහනුවර දිස්ත්‍රික්කයෙන් දෙවැනි තැනට මනාප ලබා සිටී.
අගමැති දීමු ජයරත්න මහතාගේ පුත් අනුරාධ ලංකා ජයරත්න මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා සිටී.
නියෝජ්‍ය ඇමැති ජයරත්න හේරත්ගේ පුත් පියුමාල් හේරත්, වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රණාන්දුගේ පුත් ජොහාන් ප්‍රානාන්දු, දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක බිරිය මංජුලා දිසානායක හා ඇමැති අනුර ප්‍රියදර්ශන යාපාගේ සොයුරු චන්දන යාපා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සන්ධානයෙන් තේරී පත්ව සිටිති.
නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායකගේ සොයුරු පරාක්‍රම දිසානායක මාතලේ දිස්ත්‍රික්කයෙන් ද, ඇමැති දයාශ්‍රිත තිසේරාගේ බෑණා වන සුමල් තිසේරා පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධනගේ පියා වන එදිරිවීර වීරවර්ධන මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ජයගත්හ.
ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඥාති සොයුරු ආනන්ද අලුත්ගමගේ මහනුවරින් පරාද විය. නමුත් ඇමැතිගේ මස්සිනා වන ආනන්ද වීරසිංහ මහනුවරින් ජය ගත්තේය.
නවගත්තේගම ගුරුවරියක දණගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාරගේ බෑණා ද පරාද විය.
ඝාතනයට ලක්වූ ඇමැති ද මු දසනායකගේ වැන්දඹු බිරිය ඉන්ද්‍රාණි පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ජය ගත්තාය.
එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පුත් අසංක පෙරේරා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේගේ සහෝදර රංජිත් අලුවිහාරේ මාතලෙන් ද, ඇමැති නවීන් දිසානායක මහතාගේ සොයුරු මයන්ත දිසානායක මහනුවර දිස්ත්‍රික්කයෙන් ද තේරී පත්වී සිටිති.
ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති සරත් කෝංගහගේ මහතාගේ බිරිය හිටපු පළාත් සභා මන්ත්‍රිනී ශාන්ති කෝංගහගේ මධ්‍යම පළාතට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර පරාජය විය.
උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතාගේ සොයුරු සාලිය බණ්ඩාර දිසානායක නුවර එළියෙන් පරාජය විය. ඔහුගේ සොයුරු ජයලත් බණ්ඩාර දිසානායක එක්සත් ජාතික පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කය ජය ගත්තේය.
හිටපු ජනාධිපති ඩී බී විජේතුංග මහතාගේ බෑණා ලකී ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර මහනුවර දිස්ත්‍රික්කය ජය ගත්තේය.