(මුදිතා දයානන්ද )
දේශප්‍රේමය වෙනුවෙන් කෑ ගහපු, රණවිරුවන් වෙනුවෙන් කඳුලූ හලපු කිසිවෙක් හමුදාපතිට ඇමරිකාවෙන් පැනවු තහනම ගැන කතා කරන්නේ නැතැයි හිටපු පළාත් සභා මන්ත‍්‍රී මහජන අවධි සභාවේ කැඳවුම්කරු නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (16) පැවසීය.
ඔහු මේ බව පැවසුය් බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වන අතර තවදුරටත් මෙසේද පැවසීය.
ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය පනවා ඇති තහනම අපි තරයේ හෙළා දකිනවා. මේක අපේ රටේ අභිමානයට විශාල කැළලක්. රජය ඊට දක්වන ප‍්‍රතිචාරය ගැන අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. විදේශ කටයුතු ඇමතිවරයා හා ලේකම්වරයා ඇමරිකානු තානාපතිට දැනුම් දී තිබෙනවා අමාත්‍යංශයට පැමිණෙන්න කියලා. එච්චරයි. ඉරානයේ හමුදා ප‍්‍රධානි සුලෙයිමාන්ව ඝාතනය කළාම ඒ රටේ සියලූ ජනතාව පාරට බැහැලා ඇමරිකාවට එරෙහිව දින ගණනාවක් දැවැන්ත උද්ඝෝෂනයක් කළා. මොකද ඒක රටේ ආරක්ෂාවට එරෙහිව කළ ප‍්‍රහාරයක් හා සමානයි.
මේ ආණ්ඩුවේ වගකිව යුත්තන් ගණනාවක් ඉන්නවා ඇමරිකන් පුරවැසිභාවය සහිත. ඔවුන් මේ රටට අවංකවම ආදරය කරනවා නම් කළ යුත්තේ මේ සම්බන්ධයෙන් ඇමරිකාවට පෙරළා ප‍්‍රතිචාර දැක්වීමයි. රටේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කළ යුතුයි. ඔහු මේ රටේ හිටපු හමුදා නිලධාරියෙක් වගේම ඇමරිකාවේ දිගු කලක් පුරවැසිභාවය ලබා සිටි අයෙක්.
පහුගිය කාලයේ දේශපේ‍්‍රමය වෙනුවෙන් කෑ ගහපු, රණවිරුවන් වෙනුවෙන් කඳුලූ හලපු කවුරුවත් දැන් කතා නැහැ. වසන්ත බණ්ඩාර, ගුණදාස අමරසේකර, සරත් වීරසේකර, මාගල්කන්දේ සුදත්ත හිමි, බොදු බල සේනා වගේ සංවිධාන දැන් ඇයි කතාවක් නැත්තේ? ඇත්ත දේශපේ‍්‍රමයක් තිබේ නම් දැන් මේ වෙනුවෙන් පෙනී සිටින්න. අපේ පූර්ණ සහයෝගය ඒ සඳහා ලබාදෙනවා.

