දෙවැනි හදවත් බද්ධයත් මහනුවරදී


(චමිල් රූපසිංහ)

මහනුවර මහ රෝහලේ හෘද ඒකකයේ දී සිදුකළ දෙවැනි හදවත් බද්ධයද අද(27) සාර්ථක විය.

එහි ප්‍රතිකාර ලබමින් සිටි සචිනි සෙව්වන්දි (19) තරුණියට හදවත් බද්ධ කිරීමේ සැත්කම සිදුකෙරුණු අතර අද අලුයම වනවිට සැත්කම අවසන් කෙරිණි.

පූලියද්ද ප්‍රදේශයේ පදිංචි නලින්ද බණ්ඩාර සකලසූරිය නමැති විසි අට හැවිරිදි තරුණයකුගේ හදවත සෙව්වන්දිට බද්ධ කිරීම සඳහා ලබා දීමට ඔහුගේ ඥාතීන් කැමැත්ත පළකර තිබිණි. එම තරුණයා යතුරු පැදි අනතුරකින් බරපතල තුවාල ලැබ මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර හෘද ක්‍රියාකාරීත්වය 10 %  ක පමණ මට්ටමක් දක්වා අඩුවී තිබූ අලුත්ගම ප්‍රදේශයේ පදිංචි සචිනි සෙව්වන්දිගේ ජීවිතය බේරා ගැනීමට එම හදවත් බද්ධය සිදු කෙරිණි.

සචිනිගේ වැඩිමහල් සහෝදරියද හදවත් රෝගයක් නිසා මෙයට වසර පහකට පෙර මියගොස් ඇත.

පසුගිය 19 වැනිදා ඇයට හදවත් බද්ධ කිරීමක් සිදු කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබියදී හදිසියේ සැත්කම අත්හිටුවීම හේතුවෙන් මහත් ආන්දෝලනයක් ඇතිවූ අතර සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ කළ සාකච්ඡාවකින් පසු වෛද්‍ය කණ්ඩායම හදවත් බද්ධ කිරීමේ සැත්කම් යළි ආරම්භ කිරීමට එකඟවී ඇත.

මහනුවර මහ රෝහලේ ප්‍රථම හදවත් බද්ධය පසුගිය ජූලි මස 07 දින සිදු කෙරුණු අතර.මහනුවර මහ රෝහලේ විශෙෂඥ වෛද්‍යවරුන් වන අනිල් අබේවික්‍රම, මුදිත ලංසක්කාර, ජගත් පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුළු 20දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙම සැත්කමට සම්බන්ධවී ඇත.