දෙමළ මාධ්‍ය ගුරු සහයකයන් ඉල්ලයි



 
 
බිඟුන් මේනක ගමගේ 
 
 
වතු පාසල්වල පවතින ගුරු හිඟයට පිළියමක් ලෙස බඳවා ගත් දෙමළ මාධ්‍ය ගුරු සහායකයින් සිය පුහුණුව අවසන් කළ දින සිට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 ශ්‍රේණියට බඳවාගෙන ඊට හිමි හිඟ වැටුප් ලබාදිය යුතු යැයි ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට ලිපියක් මගින් දන්වා ඇත.
 
මෙම ගුරුවරුන් පසුගිය ජුනි 28 වැනි දා සිය පුහුණුව අවසන් කර ඇතැයි ද එහෙත් ඊට හිමි සේවා පිහිටුවීම් තවම කර නැතැයි ද ලංකා ගුරු සේවා සංගමය පවසයි. 
 
මේ නිසා සොච්චම් වැටුපක් ප්‍රදානය කිරීමෙන් ඔවුන්ගේ සේවය සූරාකෑමට ලක්ව ඇතැයි පවසන එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා මේ ගැන අධ්‍යාපන ඇමැතිවරයා කඩිනම් අවධානය යොමු කළ යුතුව ඇතැයි අවධාරණය කරයි.
 
අධ්‍යාපන ඇමැතිවරයා සාධාරණ කාලයක් තුළ විසඳුම් නොදෙන්නේ නම් මෙම ගුරු සහායකයින් සමඟ ඉදිරියේදී වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹීමට සිදුවන්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ