දෙනවයි කියලා දුන්නේ නෑ


රජය සමඟ එකඟතාවක් ඇතිකැර ගනිමින් මාස තුනකට වැඩි කාලයක් පැවති වැඩ වර්ජනය නවතා දැමුව ද රජය එම එකඟතා ක්‍රියාත්මක නොකිරීම නිසා ඉදිරිකටයුතු දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් භාර දෙමින් පවසයි. එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීන් මෙන්ඩිස් මහතා කියා සිටියේ ඇතැම් උපකුලපතිවරු එම එකඟතා ගරු නොකරන බවයි. ඉටුකිරීමට එකඟවූ ඉල්ලීම් මෙතෙක් ඉටුකිරීමට රජය අපොහොසත් වී ඇති බැවින් සිසුන්ගේ අනාගතය ගැන සිතා වෘත්තීය ක්‍රියාමාර්ග නතර කළ ද යළි වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව ද ඔහු පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීන් මෙන්ඩිස් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් මේ බව පවසා ඇත.

ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ‘‘ලබාදෙනවා කියූ විසඳුම් තවම ලබාදීමට රජය අපොහොසත් වෙලා තියෙනවා. මේ හේතුවෙන් ආචාර්යවරුන් කුපිත වෙලා ඉන්නේ. ලබාදුන් පොරොන්දුවලට ගරු කරන ආණ්ඩුවක් නෙමෙයි මේක. කාලය කා දමන ආණ්ඩුවක්.

තුවාලය වනයක්ව තිබියදී තමයි අපි වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව විසන්ධි කළේ. සිසුන් ගැන හිතලයි එහෙම කළේ. වැඩවර්ජන කියන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල තවත් එක් ක්‍රියාමාර්ගයක් පමණයි. අනෙක් ක්‍රියාමාර්ගවලට අප යොමුවීමට බලාපොරොත්තු වෙනවා.