(ඉන්දිකා රාමනායක)
පොලිස් වෑන් රථයක් යොදාගෙන නීති විරෝධී දුම්වැටි ජාවාරමක නිරත වූ පොලිස් නිලධාරීන් දෙදෙනක් දුම්වැටි 8000 ක් සමඟ ඊයේ (24) කොටුව චෛත්‍ය පාරේ දී විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වරායේ පොලිසියේ නිල සුනඛ අංශයට අයත් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල් රියදුරෙක් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
කොළඹ ප්‍රදේශයේ නීති විරෝධී දුම්වැටි ජාවාරමක් සිදුවන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරීන් උපාය දුතයන් වශයෙන් ජාවාරම්කරුවන්ගෙන් දුම්වැටි තොගයක් ඇනවුම් කර ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
එම ඇනවුම අනුව බුද්ධි අංශ භට පිරිස් සැකකරුවන් චෛත්‍ය පාරට ගෙන්වාගෙන සැකකාර පොලිස් නිලධාරීන් වෑන් රථයකින් එම ස්ථානයට පැමිණ ඇනවුම් අනුව දුම්වැටි ලබා දීමේ දී භට පිරිස් ඔවුන් දෙදෙනා දුම්වැටි සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවද එම නිලධාරියා කීය.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව දුම්වැටි 8000 ක් තිබූ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේවා සියල්ල තීරුබදු රහිතව මෙරට ආනයනකර තිබු දුම්වැටි බවද පොලිසිය කියයි.
සැකකාර පොලිස් නිලධාරීන් දුම්වැටි ප්‍රවාහන කර ඇත්තේ පොලිසියට අයත් වෑන් රථයකින් බවද පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කොටුව පොලිසියට බාර දී ඇත.

