දුම්රිය බලවේග කට්ටල හිඟ නිසා දුම්රිය වාර අවලංගු කිරීමෙන් මගීන්ට දුෂ්කරතා


(ඩයනා උදයංගනී)

       දුම්රිය බලවේග කට්ටල ප‍්‍රමාණවත් පරිදි නොමැතිවීම හේතුවෙන් මේ වන විට ඇතැම් දුම්රිය ධාවන වාර අවලංගු කිරීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

         දුම්රිය තාක්ෂණ ශිල්පීන්ගේ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය තවමත් අවසන් වී නොමැති බැවින් දෙපාර්තමේන්තුව සතුව ඇති බලවේග කට්ටල සංචිතයෙහි දෝෂ සහගත තත්ත්වයන් රැසක් මතුව ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

         ඇතැම් ද්විත්ව බලවේග දුම්රියවල ක‍්‍රියාත්මක වන්නේ එක් එන්ජිමක් පමණක් වන අතර ධාවන වාර වලට සාපේක්ෂකව එන්ජින් හා මැදිරි හා බලවේග දුම්රියන් නොමැතිවීම ගැටලූවක් බව ඔහු සඳහන් කළේය.

       ඒ හේතුවෙන් දුම්රිය බලවේග කට්ටල සැපෙයන අයුරින් ධාවන වාර ක‍්‍රියාත්මක කිරීමට සිදුව ඇතැයි කී එම නිලධාරියා මෙම තත්ත්වය මත ඇතැම් දුම්රිය වාරයන් අවලංගු කිරීමට සිදුව ඇතැයි ද කීවේය.

         මෙය තාවකාලික තත්ත්වයක් වන අතර ඉදිරියේදී එම තත්ත්වය මගහැරී යනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.එම තත්ත්වය මත දුම්රිය වාර අවලංගු වීම හේතුවෙන් මේ වන විට මගී ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.

මීරිගම සිට කොළඹ කොටුව දක්වා දිනපතා උදෑසන 6.30ට ගමන් අරඹන දුම්රිය ද (පොඩි ෆවුසි) දැනට මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අවලංගු කර තිබෙන බවට මගීහු චෝදනා කරති.

         මේ හේතුවෙන් පොල්ගහවෙල සිට මොරටුව බලා පෙරවරු 6.20ට ගමන් අරඹන සීඝ‍්‍රගාමී දුම්රිය වේයන්ගොඩ සිට ගම්පහ දක්වා මන්දගාමීව ධාවනය කිරීම සිදුවන අතර එයින් මොරටුව දුම්රියේ ගමන් ගන්නා කාර්යාල සේවකයින් නිසි වේලාවට රැකියාවට වාර්තා කිරීමට නොහැකිවීමෙන් මෙන්ම මගී තදබදය හේතුවෙන් ද දැඩි පීඩාවකට ලක්වෙති.

මීට අමතරව තවත් දුම්රිය කිහිපයකටම මෙම බලපෑම එල්ල වී තිබේ.කාර්යාල මගීන්ට අමතරව මීරිගම සිට පැමිණෙන පාසල් සිසුන් ද මෙයින් පීඩාවට පත්ව සිටිති.

       මීට පෙර රාතී‍්‍ර 9.50ට මීරිගම දුම්රිය ස්ථානයට පැමිණෙන දුම්රියක් එහි නවත්වා තබා පසුදින පෙරවරු 6.30 ට කොළඹ කොටුව දක්වා ධාවනය කරවීම සිදුවූ නමුත් මේ වන විට රාත‍්‍රීයේම දුම්රිය නැවත දෙමටගොඩ පිහිටි දුම්රිය අංගනයට කැඳවීම නිසා මෙම දුම්රිය අවලංගු වී ඇති බවට මගීහු චෝදනා කරති.

         මේ සම්බන්ධයෙන් දුම්රිය පාලක මැදිරියේ සේවය කරන නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙම තත්ත්වයට පිළියම් යෙදීමේ හැකියාවක් දුම්රිය සේවකයන්ට නොමැති බවයි.

         ඒ සඳහා කෙටි කාලීන හා දිගු කාලීන සැලැස්මක් සහිත ජාතික ප‍්‍රතිපත්තියක් තිබිය යුතු බව ද ඔහු සඳහන් කළේය.