දුම්රිය ගමන් නවතී


දුම්රිය සේවකයින් ඇරඹූ පැය 48 ක වැඩ වර්ජනය හේතුවෙන් අද අලුයම සිට දුම්රිය ධාවනය ඇණහිට තිබේ. කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන වලින් කිසිදු දුම්රියක් ධාවනය නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කියා සිටියේය.

ගාල්ල දුම්රිය ස්ථානයේ ද සියලුම ප්‍රවේශපත්‍ර කවුළු වසා දමා තිබූ අතර උදෑසන 7.30 වනවිට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර නමයකින් කිසිදු දුම්රියක් ධාවනය වූයේ නැත. සඳුදා උදෑසන කොළඹට රැකියා සඳහා පැමිණෙන මගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටි අතර බස් රථ සඳහා විශාල පෝළිම් ද දක්නට ලැබිණි.

දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා කියා සිටියේ වැටුප් විෂමතාවට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා වැඩ වර්ජනය ආරම්භ කළ බවයි.