(රොමේෂ් මධුෂංඛ)
කොළඹ සිට යාපනය දක්වා ඊයේ (23) රාත්‍රියේ පැමිණි සීග්‍රගාමී දුම්රිය යාපනයට ධාවනය නොකර වව්නියාව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම හේතුවෙන් මගීහූ 300කට ආසන්න පිරිසක් අපහසුතාවට පත් වූහ.
මේ හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් ඇති වූ අතර වව්නියාව පොලීසියේ මැදිහත් වීමෙන් තත්ත්වය පාලනය කරනු ලැබීය.
පොල්ගහවෙලදී ඊයේ (23) දුම්රියක් පීලිපැනීම නිසාවෙන් මෙම තත්ත්වය ඇතිව තිබේ.
කොළඹ සිට යාපනය දක්වා පැමිණි සීග්‍රගාමී දුම්රිය පොල්ගහවෙලදී නවත්වා පැය කිහිපයක් ප්‍රමාද වීමෙන් පසුව සීග්‍රගාමී දුම්රියේ පැමිණි මගීන් බස් රථ මගින් පොල්ගහවෙල සිට මහව දුම්රිය ස්ථානය දක්වා රැගෙනවිත් මහව දුම්රිය ස්ථානයෙන් තවත් දුම්රියක ලබා දී තිබේ.
මගීන්ට ටිකට්පත්ද නිකුත් කර ඇත්තේ යාපනය කන්කසන්තුරේ දක්වා ගමනාන්තය සඳහන් කරමිනි.
කෙසේ වෙතත් අනුරාධපුර දුම්රිය ස්ථානයේදී එම මගීන්ට නිවේදනය කර ඇත්තේ අදාළ දුම්රිය යාපනයට ධාවනය නොවන බවටත් වව්නියාව දුම්රිය ස්ථානයට පමණක් ධාවනය වන බවටත්ය.
එම නිවේදනයද සිංහල භාෂාවෙන් පමණක් නිවේදනය කර ඇති හෙයින් දුම්රියේ පැමිණි දමිළ මගීන් මින් දැඩි ලෙස අපහසුතාවට පත්වී තිබේ.
වව්නියාවේදී මගීන් කියා සිටියේ තමන් රුපියල් 1500 ක් ගෙවා යාපනයට යන්නට පිටත්වුවද පැය 12 ක් ඒ වන විටත් ප්‍රමාද වී ඇති බවය.
අනුරාධපුරෙන් නිවේදනය කළ පණිවුඩය වව්නියාව දුම්රිය ස්ථානයට දැනුම් දී නොමැති බවටත් දුම්රිය හිතුමතේට ගමන් නවත්වා ඇති බවත් ඔවුහු කීහ.
පසුව වව්නියාව පොලීසිය පැමිණ මගීන් සමග සාකච්ඡා කර අතර පැය දෙකකට පසුව යාපනය දක්වා ධාවනය වූ යාල්දේවි දුම්රිය මගින් ගමන් කිරීමට අවස්ථාව මගීන්ට ලබාදෙනු ලැබීය.








