දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය විවෘත කරයි


(නිශාන්ත කුමාර)

සෞඛ්‍යය අංශයන්හි උපදෙස් වලට අනුව දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය හා නැරඹුම් මැදිරිය අද (15) දින සිට සංචාරකයින් සඳහා විවෘත කළ බව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ඩී එම් නදීකා ක්‍රිෂාන්ති දිසානායක මහත්මිය පැවසුවාය.

කොරෝනා වසංගතය සමඟ මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ වසා දමා තිබූ දුන්හිද දිය ඇල්ල මාර්ගය විවෘත කිරීමත් සමගම අද (15) දිනය තුළ පමණක් සියයකට ආසන්න සංචාරකයින් පිරිසක් දිය ඇල්ල නැරඹීමට පැමිණි බවද සභාපතිතුමිය වැඩිදුරටත් කියා සිටියාය.

ඒ සම්බන්ධයෙන් වැඩි වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිනිය මෙසේද කීවාය.

කොරෝනා වසංගත සමගම දුන්හිඳ දිය ඇල්ල සංචාරකයින් සඳහා වසා දැමීමට පියවර ගෙන තිබුණා .
මාස තුනකට ආසන්න කාලයක් එය වසා දැමීම නිසා ඒ ආශ්‍රිත මාර්ගය මෙන්ම නැරඹුම් මැදිරිය හා දිය ඇල්ල අවට ප්‍රදේශය කැලෑවෙන් වැසී ගොස් තිබුනා.
සභාව මගින් එම සියලු ස්ථාන සංචාරකයින්ට පහසු වන පරිදි සුද්ධ පවිත්‍ර කරනු ලැබුවා. ඊට පසුව එම ස්ථාන සඳහා අවශ්‍ය ජල සැපයුම් සම්පූර්ණයෙන්ම නවීකරණය කරනු ලැබුවා.
ඒ සඳහා සෞඛ්‍ය අංශවල නිර්දේශ මේ වන විටත් ක්‍රියාත්මක කිරීමට එහි සේවක පිරිසට අපි උපදෙස් ලබා දී තිබෙනවා. සංචාරකයින් මීටරයක දුරක් පවත්වා ගැනීම , අත් සේදීම වැනි කටයුතු නිරීක්ෂණය අප සභාවේ නිලධාරීන් මගින් සිදු වෙනවා. අවශ්‍ය පහසුකම් අපි සලසා තිබෙනවා. එම නිසා කොරෝනා අවදානමට මුහුණ දෙමින් දිය ඇල්ල නැරඹීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අප කටයුතු කර තිබෙනවා.

විශේෂයෙන්ම දිය ඇල්ල නැරඹුම් මාර්ගය වසා දැමීමත් සමග සොරණාතොට ප්‍රාදේශීය සභාවේ ප්‍රධානතම ආදායම් මාර්ගය අැණ හිටි අතර ඒ ආශ්‍රිතව ජීවත් වූ විශාල පිරිසකට ද යන එන මං නොමැති තත්ත්වයට මුහුණ දීමට සිදුවුනා.
කෙසේ වෙතත් ඉදිරියේදී විශාල සංචාරක පිරිසක් මෙහි පැමිනේවි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොරෝනා වසංගතය මැඩලීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ඔවුන් අපට අවශ්‍ය සහාය ලබාදෙනු ඇතැයි ද අප අපේක්ෂා කරනවා.‘‘