දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පිළිමයට තැන් කීපයකදීම පණ ලැබුණා කියලා ආරංචි වුණා. එකක් සිනමාවේදී. මේ දවස්වල රූපවාහිනියේත් දුටුගැමුණු රජ්ජුරුවෝ පණ අරගෙන. ඒ විතරක් නොවෙයි වේදිකාවේදීත් දුටුගැමුණු රජ්ජුරුවන්ට පණ දුන්නා කියන ආරංචිය අපට ලැබුණේ මීට කාලයකට කලින්. කාලයක් පිටරටක පදිංචි වෙලා ඉඳපු අයිරාංගනී කලූතන්ත‍්‍රි තමයි වේදිකාවේදී දුටුගැමුණුට පණ දුන්නේ. දැන් නැවතත් මේ මාසේ 31 වැනිදා සවස 2.30 ට හා 6.30 ට මරදාන ටවර් රඟහලේදී දුටුගැමුණු ප‍්‍රාණය ලබනවා. වත්මන් යොවුන් පරපුර වෙනුවෙන් පිදෙන දුටුගැමුණු නාට්‍ය නිර්මාණය අයිරාංගනී කලූතන්ත‍්‍රි බොහොම ආසාවෙන් බොහොම කැපවීමෙන් වේදිකාවට ගෙන එන නිර්මාණ කාර්යයක්. දුටුගැමුණු තවම නරඹන්නට අපේ පේ‍්‍රක්ෂකයන්ට අවස්ථාව නැති වුණානම් මේ ඒකට හොඳම අවස්ථාව.
සැදැහැවත් පිරිසක් දවසක්දා අනුරාධපුරයේ යනවා. රුවන්වැලි සෑය අබියසට යන ඒ පිරිස රටේ සිද්ධ වෙමින් යන ඛේදවාචකය දොහොත් මුදුන් දීලා දුටුගැමුණු රජ්ජුරුවන්ට කියනවා. ඒ කන්නලව්ව අසාගෙන ඉන්න දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පිළිමයට එකවරම පණ එනවා. ඒ කාලයේ වගේම මේ රට බේරගන්න සිය දිවිය කැප කළ දුටුගැමුණු ශ්‍රේෂ්ඨ නරපතියාගේ චරිතාපදානය වේදිකාවේ දිග හැරෙන්නේ එතැන් සිට.
දැන් අපට මුලින්ම දිස්වන්නේ කාවන්තිස්ස රජතුමාගේ රාජමාලිගාව. කාවන්තිස්ස විදියට සැරසිලා ඉන්නේ අසිත කුමාර කියන නළුවා. ගැමුණු කුමාරයා ඒ කියන්නේ දිනිදු ඒකනායක යුද්ධයට යන්න පිය රජතුමාගෙන් අවසර ඉල්ලනවා. දුටුගැමුණුට ඒත් අවසරය ලැබෙන්නේ නැහැ.
‘‘ඔබතුමා පිරිමියෙක් නොවේ. ඔබට මං ස්ත‍්‍රී ආභරණ එවන්නම්.’’
දුටුගැමුණු රඟපාන දිනිදු කෑ ගහන්නේ මුළු වේදිකාවම දෙදරුම් කන්න.
එහෙම පියාණන් එක්ක ඝෝරනාඩුවක් දා ගන්න දුටුගැමුණු කෙලින්ම කොත්මලේට පැනලා යනවා. එහිදී කතී කියන තරුණිය විවාහ කරගන්නා දුටුගැමුණුට සාලිය නම් පුතෙකුත් ලැබෙනවා.
කතී, විදියට අපූරු රංගනයක නිරතවෙන්නේ ධනුෂිකා රාජකරුණා.
ධනුෂිකා කියන්නේ අයිරාංගනීගේ ළඟම නෑදෑවෙන කෙනෙක්. ඇය දිගු කාලයක් ජීවත් වී තිබෙන්නේත් කැනඩාවේ. දවසක් පියා එක්ක අයිරාංගනී මහත්මියලයි නිවසට ගිය වෙලාවක ධනුෂිකාගේ හැඩරුව දැකලා දුටුගැමුණු නාට්‍යයට ඇයට ආරාධනා කරලා. ඒ ආරාධනයෙන් ඇය තිගැස්සිලා තියෙන්නේ ඇයට කලින් රංගන අත්දැකීමක් නොතිබුණු නිසා. පස්සේ කොහොම හරි හැමෝගෙම ආශිර්වාදය මැද්දේ දුටුගැමුණුගේ ‘‘කතී’’ට සාර්ථකව පණ දෙන්න ධනුෂිකාට හැකි වුණා.
නාට්‍යයේ එක අවස්ථාවක දුටුගැමුණු රජතුමාට පියාණන්ගේ මරණය ආරංචි වෙලා එතුමා නැවත සිය ගම් ප‍්‍රදේශයට එන්න සූදානම් වෙලා. ‘‘මට නැවත යන්න වෙනවා ඔයයි පුතයි සතුටින් ඉන්න’’ කියලා කතීට කියනවා.
ඒ මොහොත තමයි දුටුගැමුණු නාට්‍යයේ හැඟුම්බරම රංගනය කරන්න ධනුෂිකා රාජකරුණා හෙවත් කතීට අවස්ථාව ලැබෙන්නේ.
‘‘මම එය දනිමි ස්වාමීනි එහෙත් ඒ වියෝගය මා හට දරා ගත නොහැක්කක්.’’
කතී එහෙම කියනවා.
දුටුගැමුණු තමයි දුටුගැමුණු නාට්‍යයේ ප‍්‍රධාන චරිතය. මේ චරිතයට දුටුගැමුණු කෙනෙක් සොයාගන්න අයිරාංගනී කලූතන්ත‍්‍රි විඳපු දුක දන්නේ එයාට විතරයි. විවිධ විශ්වවිද්‍යාලවල ළමයි කීප දෙනෙක්ම දුටුගැමුණු චරිතය හොයාගෙන අයිරාංගනී ළඟට ආවත් අයිරාංගනීගේ ඇස නතර වෙන්නේ දිනිදු ගාව. අයිරාංගනී දුටුගැමුණුට හොයපු පෞර්ෂය, කඩවසම් බව ඔක්කොම දිනිදුට තියෙනවා කියලා ඇය හිතලා. දිනිදුත් ධනුෂිකාට වගේම දුටුගැමුණු වේදිකාවට ගෙන එද්දී තිබිලා තියෙන්නේ චකිතයක්. මුලින්ම දෙබස් වුණත් කියන පිළිවෙළ වැරැුදිලා තියෙන්නේ මේක ඔහුට අලූත් අත්දැකීමක් නිසා. එක අවස්ථාවක එක නළුවෙක් අන්තිමට කියන්න ඕන දෙබස මුලින්ම කියලා ඒ වරද කොහොම හරි දන්න නුවණ දාලා නිවැරැුදි කරගෙන තිබෙන්නේ දිනිදුමයි.
දුටුගැමුණු වේදිකාවේ රජෙක් වගේ විරාජමානව රජ පුටුවේ වාඩි වී සිටිනවා. පරිවාර ස්ත‍්‍රීන් ඔහුට දෙපැත්තෙන් ඉඳගෙන පවන් සලනවා. ඒ අතරේ ඔහුව පිනවන්න ගායක කණ්ඩායමකුත් සූදානම්.
ජගත් පූජිත වීරයාණෙනි
එදා ඔබ කළ මහඟු සේවේ
අදත් සමරමු ගැමුණු නාමය
සසුනේ හා හෙළ දැයේ ජීවේ
යළිත් මතුවී අඳුරු මේ කුළු
එදා මෙන් අඹරේ පෑයේ
ලදොත් බැල්මක් ඔබෙන් හිමියනි
නැසේ සතුරන් නගන රාවේ
දුටුගැමුණු රජ්ජුරුවෝ තේජසින් යුතුව රජ පුටුවෙන් නැගී සිටිනවා. ඔහු සියල්ලෝම අමතනවා.
‘‘මාගේ මේ ව්‍යායාමය කිසි කලෙක රජ සැප පිණිස නොවේ. එය සිංහල ජාතියේ අභිමානය හා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා වන්නේය.’’ අවසාන වතාවට තවත් උදාන වාක්‍යයක් දුටුගැමුණු හැමෝටම ඇසෙන්න කියනවා. ‘‘සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨත්වය පෞඩත්වය හා උදාරත්වය රැුදී ඇත්තේ ජාතික සමගිය මතයි. අනාගත පාලකයෝ ද මෙය සැලකිල්ලට ගනිත්වා.’’
දුටුගැමුණු නැවතත් පිළිමයක් බවට හැරවෙද්දී වේදිකාවේ තිරය වැසී යනවා
අමිල චින්තක ගමගේ




