( +++ දෙනියාය විශේෂ - එස් කොඩිකාර)
දෙනියාය, පල්ලේගම මෙදේරිපිටිය ප්‍රදේශයේ දෙමෝදර වළේ දිය නෑමට ගිය හිමිවරුන් පිරිසකගෙන් එක් නමක් ඊයේ (23) පෙරවරු 11.20 ට පමණ අපවත් වී ඇතැයි දෙනියාය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රී සුභද්‍රාරාමය, කොටඹේ , මොදරවාන විහාරස්ථානයේ වැඩ විසූ වතුකන්දේ සමිතරතන හිමියන් බව පොලීසිය කියයි.
උන්වහන්සේ 19 වන වියේ පසුවූහ.
මාතර මිගදා පිරිවෙනෙහි ඉගෙනුම ලබන හිමිවරුන් පිරිසක් පල්ලේගම මෙදේරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකගේ ඡන්ම දිනය සැමරීම සඳහා සූදානම් කර තිබූ කවි බණකට හා බෝධි පූජා පින්කමකට පෙරේදා (22) සවස සම්බන්ධ වී එම කටයුතු අවසන් කර එදිනද මෙම ස්ථානයේ දිය නෑ බව එම කණ්ඩායමේ හිමිනමක් පැවසූහ.
ඉන්පසු පසුදා උදෑසන ද එම හිමිවරුන් කණ්ඩායමක් ගිංගඟ සහ කිරිඳිවැල්දොල ගඟ එකට සම්බන්ධ වන මෙම දෙමෝදර වළේ නැවත දිය නාමින් සිටින අතරතුර එක් හිමිනමක් දිය යට ගොස් ඇති අතර එය දැක අනෙක් හිමිවරුන් කෑ කෝ ගසන ශබ්දය ඇසී මෙදේරිපිටිය විහාරස්ථානයේ සිටි හිමිනමක් දිවවිත් දියේ ගිලී සිටි හිමිනම ගොඩට ගෙන 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මගින් දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් එම හිමිනම අපවත්ව තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මියගිය හිමිනමගේ පශ්චාත් මරණ පරීක්ෂණය දෙනියාය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආනන්ද වීරසේකර මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

