දියගම ගංවතුර බැම්මේ අගුල්දොර ස්ථාවරයි


(ජායාරූප හා වීඩියෝ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර, දියගම, දොඩම්මුල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති ගංවතුර පාලන වේල්ලේ පිහිටි ‘අගුල් දොර‘ කැඩී යාමේ අවදානමක් නැතැයි කොළඹ කලාපයේ වාරිමාර්ග ඉංජිනේරු චමින්ද පුෂ්පකුමාර මහතා පවසයි.

කළු ගඟත් බොල්ගොඩ වැවත් සම්බන්ධ කෙරෙන ‘කැපූ ඇල‘ නම් ඇලේ දොරටුව ලෙස පිහිටි මෙ අගුල් දොර ඉතාමත් ස්ථාවරව පවතින බවත් අවශ්‍ය වුවහොත් පමණක් එම දොර ක්‍රමාණුකූලව විවෘත කරනවා විනා එය කැඩී යාමේ අවදානමක් නැති බවත් වාරිමාර්ග ඉංජිනේරු චමින්ද පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් පවසයි.

“ගංවතුර ආපදාවකදී කැපූ ඇල හරහා බොල්ගොඩ වැවට ජලය හැරවීමට මෙය යොදා තිබෙනවා. මෙහි සවිශක්තිය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ.“

“බැම්ම අසලට වතුර ආවත් එම අතිරික්ත ජලය ඇළ හරහා පහළට යොමු කරනවා. ජල මට්ටම උදේ 8 ඉඳලා මේ දක්වා උස්වී තිබෙන්නේ අඟලක් පමණයි. යම් හෙයකින් විශාල ජල ප්‍රමාණයක් පැමිණියහොත් ඇළ අවට සිටින ජනතාව පරෙස්සම් විය යුතුයි. වැව් බැම්ම 100% ක් ආරක්ෂිතයි. ගේට්ටුවේ ආරක්ෂාවත් එහෙමමයි“ 

“දැනට අපි ගේට්ටුව වහලා තියෙන්නේ. එකපාරම විවෘත කළොත් විශාල ජලප්‍රමාණයක් පහළට යන නිසා එය ක්‍රමානුකූලව විවෘත කරන්න ඕනා“ යයිද වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය‍.