දිනපතා සුපිරි මඟේ වාහන 90 ක් කාර්මික දෝෂවලට


සුමතිපාල දීයගහගේ
 
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී  වාහන 80-90 ත් අතර සංඛ්‍යාවක් දිනපතා කාර්මික දෝෂවලට ලක්වන බව පවසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු සහ මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයට වාහනයක් ඇතුළු කිරීමට පෙර වාහනයේ ඉන්ධන වතුර බැටරි ටයර් තිරිංග සහ පහන් ආදියේ තත්වය පරික්ෂාකර බලා රථය දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කරන මෙන්  රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
 
වාහනවල කාර්මික දෝෂ නිසා අතර මග නවතන මෙම වාහන හේතුවෙන් අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බවද ඒ මහතා පවසයි.
 
මේ පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කළ ඕපනායක මහතා මෙසේද කීය.
 
පාසල් නිවාඩු නිසා මේ දිනවල දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිනකට වාහන හැත්තෑ දහසත් අසූ දහසත් අතර ප්‍රමාණයක්  ධාවනය වෙනවා. මෙම වාහන අතර කාර්මික දෝෂ සහිත වාහනද ධාවනය වෙනවා. එවැනි වාහන අනූවක් පමණ දිනපතා කාර්මික දෝෂවලට ලක්ව පාරේ නවතා තබනවා. මෙය ඉතාම අනතුරුදායක තත්වයක්. ඒ නිසා වාහනයක් අධිවේගී මාර්ගයට ඇතුළු කිරිමට පෙර ඒවායේ ටයර් බැටරි වතුර තිරිංග ආදිය පරික්ෂා කර බලන්න.

මෙවැනි අඩුපාඩු සහිත වාහන අධිවේගී මාර්ගයට ඇතුළු කිරිම නිසා සෙසු රියදුරන්ද අපහසුවට පත් වෙනවා. විශේෂයෙන්ම කාර්මික දෝෂයකට ලක්වු වාහන හැකි තරම් අයින්කර නවතා තබන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා යයි ද ඕපනායක මහතා කීය.