දින 49කට පසු දකුණු කොරියාවෙන් නව කොරෝනා ආසාදිත පොකුරක්


දින 49කට පසු දකුණු කොරියාවෙන් නැවත වරක් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ අවදානමක් හටගෙන ඇත.

සෝල් අගනුවරට බටහිරින් පිහිටි භාණ්ඩ සැපයුම් මධ්‍යස්ථානයකින් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරක් හමුවීමත් සමඟ එම අවදානම ඇති වී තිබේ. අඟහරුවාදා (26) මධ්‍යම රාත්‍රිය වනවිට නව ආසාදිතයන් 40 දෙනකු හඳුනාගත් බව දකුණු කොරියාවේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය සඳහන් කළේය.

හඳුනාගත් නව ආසාදිතයන්  40 දෙනාගෙන්  36 දෙනකුට එම භාණ්ඩ සැපයුම් මධ්‍යස්ථානයේ සේවකයන් යැයි වාර්තා වේ. එම ස්ථානයේ 3,600කට ආසන්න පිරිසක් සේවය කරන අතර ඔවුන් සියලු දෙනාම ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කර ඇත. අදාළ භාණ්ඩ සැපයුම් මධ්‍යස්ථානය සඳුඳා (25) දිනයේදී වසා දමා ඇති එය විෂබීජහරණයට ලක් කළේ යැයි ද දකුණු කොරියානු බලධාරීහු කීහ.

‘‘මේ තත්ත්වයත් සමාජය තුළ ද වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් නැවත ඇති වී තිබෙනවා. ඒ නිසා අපි දැඩි විමසිල්ලෙන් සිටිනවා’’ යැයි දකුණු කොරියාවේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය කිම් කැන්ග් ලිප් මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (27) පැවැසීය.

අල්ජසීරා/රොයිටර්

055