දිගම ඔසරිපොටේ වාර්තාව මාස දෙකකට පසු


බිඟුන් මේනක ගමගේ  

මහනුවර පෞද්ගලික ආයතනයක් විසින් සංවිධානය කරන ලද ලොව දිගම ඔසරි පොට වැඩසටහන සඳහා කටුගස්තොට සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ළමයින් 251 ක් සහභාගී කරවීම සම්බන්ධව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සැකැසූ විමර්ශන වාර්තාව ආණ්ඩුකාර ලේකම්වරයාට අද(2) බාර දී ඇත. 

එච්.ඒ.ඩබ්ලිව් ධනවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත්කරන ලද පංච පුද්ගල කමිටුවක් මගින් මෙම විමර්ශන වාර්තාව සකස් කර ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් තිස්ස කරුණාරත්න මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

අදාළ වාර්තාව නිරීක්ෂණය කර ඉක්මණින්ම ආණ්ඩුකාර නිලූකා දිසානායක මහත්මියට යොමු කරන්නේ යැයි ද ඒ අනුව වැරැදිකරුවන්ට එරෙහිව පියවර ගැනීම සිදුවනු ඇතැයි ද ආණ්ඩුකාර ලේකම්වරයා කීවේය. 

එම වාර්තාව ආණ්ඩුකාර කාර්යාලයට යවා ඇති බව මීට පෙර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශ කළ අතර එය නොලැබුණු බව ආණ්ඩුකාර කාර්යාලය කීවේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නිකුත් කළ විගණන විමසුම පාදක කරගෙන පසුගිය වසරේ දෙසැම්බර් හය වැනිදා ‘ලංකාදීප’ සත්‍ය ගවේෂණ විශේෂාංගය මගින් කරුණු අනාවරණය කළ පසු එම ලිපියේ පිටපතක් අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කරමින් පරීක්ෂණ වාර්තාවක් කැඳවී යැයි ආණ්ඩුකාර ලේකම්වරයා කීය.

අදාළ සිදුවීම නිසා සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන පරිපාලන පැය 1294 ක් නාස්ති වී පාසලේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී යැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රජයේ විගණන අංශය පසුගිය ඔක්තෝම්බර් 4 වැනිදා මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයාට විගණන විමසුමක් යොමුකරමින් අනාවරණය කළේය.

විදුහල්පතිවරයාට පිටපතක් සහිතව කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇමතූ අංක සීපීසී / සීඑම්/ 06/01 හා 2017 සැප්තැම්බර් 12 දිනැති ලිපිය මගින් මෙම ළමයින් සම්බන්ධකරගැනීම සඳහා මූලිකවම ඉල්ලීම් කරනු ලැබ තිබුණේ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක විසින් යැයි ද එහි වැඩිදුරටත් සඳහන්ව තිබිණි.

පහතින් දැක්වෙන සම්බන්ධතාවය ඔස්සේ එම සත්‍ය ගවේෂණ ලිපියට පිවිසිය හැකිය.

http://www.lankadeepa.lk/features/%E0%B7%85%E0%B6%B8%E0%B7%8F-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B7%83%E0%B7%8F-%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%94-%E0%B6%94%E0%B7%83%E0%B6%BB%E0%B7%92-%E0%B6%B4%E0%B7%9C%E0%B6%A7%E0%B6%A7-%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%AF-%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A/2-521214