දැරියට පහරදීමේ පැමිණිල්ල බාර නොගත් ස්ථානාධිපතිවරියන්ගේ වැඩ අත්හිටුවයි


(උපාලි ආනන්ද)

නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථාන දෙකෙහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. නිකවැරටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතා මෙම අත්හිටුවීම කර තිබේ.

නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේ 13 හැවිරිදි  බාලවයස්කාර දැරියකට මොන්නෑකුලම ග්‍රාම නිලධාරිනියක සහ දැරියගේ සුළු මව බව කියන කාන්තාවක විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මිත්තණිය මෙම පොලිස් ස්ථානවලට පැමිණිලි කිරීමට ගොස් තිබිණි. එහිදී එම  පැමිණිලි  බාරනොගෙන ඇය ආපසු හරවා යැවීම හේතුවෙන් රාජකාරිය බරපතල ලෙස පැහැර හැරීම මත මෙම ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇත.

මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ, නිකවැරටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී, උප පොලිස් පරීක්ෂිකා ඉමාලි ලක්ෂි හේමචන්ද්‍ර සහ කොටවෙහෙර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී උප පොලිස් පරීක්ෂිකා සඳරේඛා අත්තනායක වන මහත්මීන්ය.