දැරියක් බලෙන් රැගෙන ගොස් අපයෝජනය කළැයි පුතා-මව අත්අඩංගුවට


(ඩී.ජී.සුගතපාල)
 
පහළොස් හැවිරිදි  බාල වයස්කාර පාසල් සිසුවියක් නිත්‍යනුකූල බාරකාරත්වයෙන් අපහරණය කර අපයෝජනයට ලක් කර පසුව ව්‍යාජ වයස් සහතිකයක් ඉදිරිපත් කර විවාහවී  ඇති බව කියන සැකකරුවෙකු  සහ එම අපරාධයට පහසුකම් සපයා ආධාර අනුබල දී ඇති සැකකරුගේ මවද අත් අඩංගුවට ගත් බව අක්මීමණ පොලිසිය පවසයි.
 

වලහන්දුව ප්‍රදේශයේ පදිංචි සිසුවිය පසුගිය ඔක්තෝබර් මාසයේ 11වැනි දින සැකකරු සමග ඔහුගේ නිවසට ගොස් පසුව බණ්ඩාරවෙල ප්‍රදේශයට ගොස් ටික දිනක් සිට යළ නිවසට පැමිණ තල්පෙපත්තුවේ විවාහ රෙජිස්ටාර්වරයකු ළඟට ගොස් ව්‍යාජ වයස් සහතිකයක් ඉදිරිපත් කර විවාහවී ඇති බවත් පොලිසිය පවසයි.
 
අත් අඩංගුවට ගෙන ඇති සැකකරු විසි හැවිරිදි වියේ පසුවන තරුණයෙකු වන අතර අත් අඩංගුවට ගෙන ඇති ඔහුගේ මව තිස් නමවන වියේ පසුවන කාන්තාවකි.
 
අක්මීමණ පොලිසියේ  අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක වික්‍රමතන්ති ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා නිශාන්ති කාන්තා සැරයන් නයනා(5930) යන මහත්ම මහත්මීන් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

සැකකරු හා සැකකාරිය අද (17)ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.