දැරියක උස්සාගෙන යන්න හැදූ උකුස්සකු අල්ලා වනජීවියට බාරදෙයි


(තලාව උපුල් හේරත්)

අනුරාධපුර සුචරිතගමට පෙරේදා (14) පැමිණි විශාල උකුස්සකු කුඩා දරුවන් සිවුදෙනකු පැහැර ගැනීමට දැරූ උත්සාහයේදී තුවාල ලැබූ දරුවකුට රෝහලෙන් ප්‍රතිකාර ලබාදී ඇති අතර ගම්වාසීන් එක්වී අල්ලාගත් උකුස්සා අනුරාධපුර වනජීවී කාර්යාලයට බරදී ඇත.

මෙම සිද්ධියෙන් තුවාල ලැබුවේ සුචරිතගම පදිංචි ඒ. දෙව්මිනි අමායා චන්ද්‍රසේකර නමැති හත් හැවිරිදි දැරියකි. ඇය සුළු තුවාල ලබා අනුරාධපුර රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.

අඩි දෙක හමාරක් පමණ උසැති තටු විහිදූ විට අඩි පහක් පමණ දිගින් යුත් හොඳින් වැඩුණු මෙම උකුස්සා පෙරේදා (13) අනුරාධපුර සුචරිතගමට පැමිණ ඇත. එම ග්‍රාමයේ උස ගස්වල රැඳී සිටි මෙම උකුස්සා නිවාස අසලට පැමිණ දරුවන් පැහැර ගැනීමට උත්සාහ කරද්දී ගම්වාසීන් මහත් කලබලයට පත්වී ඇත.

ඒ පිළිබඳව අදහස් දැක්වූ සුචරිතගම පදිංචි අශෝකා මාලනී (60) මහත්මිය මෙසේ පැවසුවාය. 

මගේ නිවස අසල පදිංචි චාන්දනී නංගීත් එයාගේ අවුරුද්දක් පමණ වයසැති දරුවාත් පෙරේදා සවස නිවස ඉදිරියේ සිටියා. ඒ අසලට පැමිණි මේ උකුස්සා කුඩා දරුවා රැගෙන යාමට උත්සාහ කළා. ඒ වෙලාවේ චාන්දනී දරුවා රැගෙන නිවසේ කාමරයට දිව ගියා. උකුස්සා ඒ අසල තිබුණු බෝනික්කෙකු රැගෙන ගහකට පියඹා ගියා.

ඉන් පසු අද උදේ මේ උකුස්සා පාසල් යන දරුවකු පසුපස පන්නාගෙන යද්දී මෙය දුටු ගමේ කාන්තාවක් ඌට ඉදල්වලින් පහර දුන්නා. ඉන් බේරුණු කුරුල්ලා වහලයක් උඩට නැග්ගා. ඒ අසල සිටි අමායා දැරිය රැගෙන යාමටද උත්සාහ කළා. අපි බොහොම අමාරුවෙන් ඒ දරුවා බේරාගත්තා. අපේ ගමේ ඉන්න තරුණයන් දෙතුන් දෙනෙකු එක්වී කුරුල්ලා අල්ලාගන්න උත්සාහ කළා. පැයකට ආසන්න කාලයක් දැරූ උත්සාහයෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න බැරිවුණා. ඊට පස්සේ කඩෙන් මස් කෑල්ලක් ගෙනත් ඌට කන්න දී රෙදි කැබැල්ලක් උගේ ඇඟට දමා ඌ අල්ලාගෙන තොටිල්ලකට දැම්මා. පසුව වන ජීවී නිලධාරීන්ට බාරදුන්නා.

මේ සිද්ධිය පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී උපාලි ජයවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ මෙම පක්ෂියා (Orieutal Hunny Bu‘art) නමැති විද්‍යාත්මක නමින් හඳුන්වන සිළු බඹර උකුස්සකු බවය. මෙම උකුස්සන් හාවුන්, කුකුළන් වැනි සතුන් දඩයම් කරමින් ජීවත් වන බවද ඔහු කීය.