දස ලක්ෂ වැනි සංචාරකයා චීන කතක්


2012 වසරේ දිවයිනට පැමිණි දශලක්ෂ වැනි සංචාරකයා ඉරිදා (30) මධ්‍යම රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මහත් හරසරින් පිළි ගනු ලැබීය.

ජියෑං යෑං නම් චීන කත ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්  යූ එල් 889 ගුවන් යානයෙන් සිය සැමියා සමග  ශ්‍රී ලංකාවට ආවාය.

ඇය ද, ඉංජිනේරුවකු වන යෑං බුං නම් ඇගේ සැමියා ද හෙළ සිරිතට කටුනායකදී ඇඳුම් ඇඳගත්හ.

ගුවන්තොටේදී පිරිනැමුණු ඔසරියක් ඇය ඇඳ ගත්තාය. ඇගේ සැමියාට ජාතික ඇඳුමක් පිරිනැමිණි.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති භාෂ්වර ගුණරත්න, ගුවන්තොටුපළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ උප සභාපති කමල් රත්වත්ත, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමනාකාර අධ්‍යක්ෂ රූ ජවුෆර් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ද ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා ද සංචාරක නියෝජිතයෝ ද ඇය මලින් පිළිගත්හ.

තමන් කැමති තැනක දින තුනක් සිරිලක් සිරි නැරඹීම සඳහා ඔවුනට ප්‍රවාහන, නවාතැන්, ආහාර හා සෙසු පහසුකම් සංචාරක ප්‍රවර්ධන කාර්යංශයෙන් සැපයේ.