දරුවකු මිය යාමෙන් ගලහ රෝහල අසල කැළඹෙයි


 

 

 

ඩබ්ලිව්.ඒ. අසේල

 

උණ රෝගය සෑදී ප්‍රතිකාර සඳහා ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු එක හමාරක පිරිමි දරුවකු අද (28) රෝහල් වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ල හේතුවෙන් මිය යාම සම්බන්ධයෙන් උරණ වූ පිරිස්  ගල් මුල් වලින් ප්‍රහාර එල්ල කර රෝහල ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹුහ.

මෙසේ මියගොස් ඇත්තේ ගලහ දෙල්තොටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සංකර් සජී නැමති පිරිමි දරුවෙකි.

මියගිය දරුවාගේ ඥාතීන් පවසන්නේ දරුවාට උණ සමඟ සෙම ගතියක් තිබූ බැවින් ප්‍රතිකාර සඳහා ගලහ ප්‍රාදේශීය රෝහලට රැගෙන ගිය බවත් පැය දෙකක් යනතුරු කිසිම වෛද්‍යවරයකු දරුවාගේ රෝගී තත්ත්වය පරීක්ෂා නොකළ බවයි.

පසුව එම දරුවා පේරාදෙණිය රෝහලට රැගෙන යන ලෙස පැවසූ නිසා ත්‍රී රෝද රථයකින් දරුවා පේරාදෙණිය රෝහලට රැගෙන යන අතරතුර මියගොස් තිබේ.

එම නිසා කුපිත වූ පිරිස් රෝහල වටකර ප්‍රහාර එල්ල කර රෝහලේ අභ්‍යන්තරයේ වෛද්‍ය උපකරණවලටද හානි කර තිබේ.

මෙම ස්ථානයට පැමිණි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ශාන්ති සමරසිංහ මහත්මියගේ නියෝජිතයා පැවසුවේ එම රෝහලේ සිටි වෛද්‍යවරුන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්ත කරන බවත් මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බවත්යි.

රෝහලේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ගලහ පොලීසියට අමතරව ගම්පොළ හා අවට පොලිස් ස්ථාන වලින් ද නිලධාරින් කැඳවා ඇති බවත් විශේෂ කාර්ය බළකාය හා කැරලි මර්දන අංශයේ නිලධාරින් ද යොදවා ඇත.