දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු ජාවාරමක් හෙළිවෙයි


(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක මිනිස් පරිභෝජනයට නුසුදුසු විදේශයෙන් ගෙන්වූ ලොකු ලූණූ තොගයක් පැළවුණු ගොබ කපා ඉවත්කර හොඳ ලූනුවලට කලවම්කර වෙළඳපොළට යැවීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පි .එදිරිසිංහ මහතා ඇතුළු කණ්ඩායමට හැකිවිය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවන අක්‍රමිකතා සහ දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමට දඹුල්ල මූලස්ථාන පොලිසිය අද (31) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මෙම වැටලීම අනාවරණය කර ගැනීමට සමත්විණි.

මෙම පෞද්ගලික ගබඩාව පරික්ෂා කර වහාම ඒ පිළිබඳව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට පොලිසිය දැනුම් දුන්නේය.

 

 

කඩිනමින් එම ස්ථානයට පැමිණි දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ස්ථානය පරීක්ෂා කර වහාම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා මේ පිළිබඳව පරීක්ෂා කර නීතිමය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නේය.

කිසිදු ආකාරයකින්  පැලවුණු ලූනූවල ගොබ කපා මිනිස් පරිභෝජනයට ගැනීම නුසුදුසු බවත් එමගින් ජනතාවට ශරීරයට විසක් වෛරස් තත්ත්වයක් ඇතුළු වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඉතා අඩු මුදලට ආහාරයට නුසුදුසු ලූනු තොග වරාය හරහා රට අභ්‍යන්තරයට ගෙන එන බවත් මේවා මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූනු කන්ටේනර් වලින් වෙනත් කිසියම් මත්ද්‍රව්‍යක් මෙරටට එන්නේ ද බරපතල සැකයක් මතුව ඇතැයි නගරාධිපති ජාලිය ඕපාත මහතා දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙත දැනුම් දුන්නේය.

කිසිදු ආකාරයකින් මිනිස් පරිභෝජනයට නොසුදුසු මෙම ලුණු කම්කරුවන් යොදා ගෙන සුද්ධ පවිත්‍ර කර අඩු මුදලට කොත්තු රොටී අල රොටි සහ රයිස් වලට   විකිණීම සිදු කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.

පසුව එම ස්ථානයට පැමිණි දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වෛද්‍යවරුන් ස්ථානය පරීක්ෂා කර පිටරටින් ගෙන්වූ ආහාරයට නුසුදුසු ලොකු ලූනු කිලෝ 5000 ක් පමණ අත්අඩංගුවට ගෙන ඔවුන්ට   විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නට වූහ.

 

වෛද්‍යවරුන් ද කියා සිටියේ ලුණු වැනි ද්‍රව්‍ය  පැලවීමෙන් පසුව එහි ලැබෙන අලය ආහාරයට ගැනීමට සුදුසු වුවද නැවත එම පැලය අලය බීජයක් වශයෙන් පත් වූ විට ආහාරයට ගැනීමෙන් විස ශරීර ගතවන බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි  නාඩි නැමති වෙළඳ කණ්ඩායම නිසා පාරිභෝගික ජනතාවට වෙළෙන්දන්ට දැඩි හානි සිදුවී ඇති බවට රජයට ලැබුණු තොරතුරු මත හා ආරක්ෂක අංශ බුද්ධි නිලධාරීන් තොරතුරු වාර්තා කර තිබේ.

වෙළඳසැල් වලට ගිය පොලීසිය පිටස්තර පුද්ගලයන් සිටිනම් වහාම ඉවත් කරගන්නා ලෙසටද උපදෙස් ලබා දුන් අතර ඉදිරියේ දී කිසිදු ආකාරයකින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි  නාඩි වෙළඳාමට ඉඩ නොතබන බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කළේය.