දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලිය 7දා කොළඹදී ඇරඹෙයි


දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාවලිය සැප්තැම්බර් 7 වැනිදා සුගතදාස ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වේ. ඒ සඳහා කලාපයේ රටවල් අටම තරග වදින බව සත්කාරය දරණ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි. තරගාවලියට සුදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ අපේක්‍ෂාවෙන් පසුගිය ජූලි 1 වැනිදා සිට ජාතික කාන්තා පාපන්දු සංචිතයේ පුහුණුවීම් ආරම්භ කර තිබේ. තරග කාලසටහන පසුගියදා (20) පාපන්දු නිවසේදී ප‍්‍රකාශයට පත් කරන ලදී. ”ඒ” කාණ්ඩයෙන් ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව හා භූතානය ද ”බී” කාණ්ඩයෙන් නේපාලය, පාකිස්ථානය, මාලදිවයින හා ඇෆ්ගනිස්ථානය ද මූලික වටයේදී තරග වදිති. වසර 2010 දී අවසන් වරට පැවැති මෙම තරගාවලියේ ශූරතාව ඉන්දියාව විසින් දිනා ගන්නා ලදී. 2010 අවසන් මහ තරගයේදී නේපාලය අනුශූරතාව හිමි කරගත්තේය. එවරද ශ්‍රී ලංකාව මූලික වටයෙන්ම පරාජයට පත් විය. තරග කාලසටහන (මූලික වටයේ පළමු තරගය පෙරවරු 8.30ට ද, දෙවැනි තරගය පස්වරු 3.30ටද පැවැත්වේ). ⋆සැප්තැම්බර් 7 -- ඉන්දියාව - බංග්ලාදේශය අතර -- ශ්‍රී ලංකාව - භූතානය අතර ⋆සැප්තැම්බර් 8 -- නේපාලය - පකිස්ථානය අතර -- මාලදිවයින - ඇෆ්ගනිස්ථානය අතර ⋆සැප්තැම්බර් 9 -- ඉන්දියාවxශ්‍රී ලංකාව අතර -- බංග්ලාදේශය - භූතානය අතර ⋆සැප්තැම්බර් 10 -- නේපාලය - මාලදිවයින අතර --පකිස්ථානය - ඇෆ්ගනිස්ථානය අතර ⋆ සැප්තම්බර් 11 -- ඉන්දියාව - භූතානය අතර -- බංගලාදේශය - ශ්‍රී ලංකාව අතර ⋆සැප්තැම්බර් 12 -- නේපාලය - ඇෆ්ගනිස්ථානය අතර -- පාකිස්ථානය - මාලදිවයින අතර ⋆ සැප්තැම්බර් 14 -- අවසන් පූර්ව තරග (පෙරවරු 8.30ට හා පස්වරු 3.30ට) ⋆ සැප්තැම්බර් 16 -- අවසන් මහ තරගය (පස්වරු 3.30ට)  කොළඹදී පැවැත්වෙන දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියට යොදා ගන්නා නිල පාපන්දුව වන ”නිවියා සිම්බෝලා” වර්ගයේ පාපන්දුවක් දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ ලේකම් ඇල්බටෝ කෝලාකෝ මහතා විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කාන්තා ව්‍යාපෘති නිලධාරිනි ඔලිවියා ගමගේ මහත්මියට ප‍්‍රදානය කරන ලද අවස්ථාව. එම සම්මේලනයේ භාණ්ඩාගාරික උයේන් චැන්ග්චුක්, පාපන්දු සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රංජිත් රුද්‍රිගු, එහි විධායක නිලධාරි ක‍්‍රිෂාන්ත පෙරේරා යන මහත්වරු ද මෙහි වෙති.