දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගමාලාවේදී ශී‍්‍ර ලංකාවට රිදී පදක්කම් තුනක් , ලෝකඩ පදක්කමක්


දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගමාලාවේ කණ්ඩායම් තරගාවලියේදී රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. ඉන්දියාවේ ශිලොන්ග්හිදී ඊයේ (19) අවසන්වීමට තිබු මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් වයස 15 න් පහළ සහ 18 න් පහළ (බාලක/බාලිකා) කණ්ඩායම් දෙකක් සහභාගිවිය. තරගාවලියේදී වයස 18 න් පහළ බාලිකා, වයස 15 න් පහළ බාලක සහ බාලිකා කණ්ඩායම් රිදී පදක්කම් තුන දිනාගත් අතර වයස 18 න් පහළ බාලක පිල ලෝකඩ පදක්කම ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් සහභාගි වු කණ්ඩායම් හතරම පදක්කම් දිනා ගැනීමට සමත්වීම කැපී පෙනේ. චන්දිමා මධුෂාණී, කසුනි පිටිගල සහ රුවිනි කන්නන්ගර රිදී පදක්කම්ලාභී ශ්‍රී ලංකා වයස 18 න් පහළ (බාලිකා) පිල නියෝජනය කළහ. උදය රණසිංහ, ප‍්‍රසාද් ද සිල්වා, නුවන්ති නිරෝෂණ වයස 15 න් පහළ බාලක පිලට ද, මුතුමාලි ප‍්‍රියදර්ශනී, පවනි සිරිසේන, ටී. තුෂාරා වයස 15 න් පහළ බාලිකා පිලට ද ඇතුළත් වුහ. ලෝකඩ පදක්කම හිමිකර ගත් වයස 18 න් පහළ බාලක කණ්ඩායමට නුවන් ජයසුන්දර, සුපුන් සිරිසේන සහ තිළිණ විජේසිරි ඇතුළත් වුහ. උදය රණසිංහ, පවනි සිරිසේන, ප‍්‍රසාද් ද සිල්වා සහ රුවිනි කන්නන්ගර එහිදී දස්කම් දැක් වු බවද වාර්තාවේ. චන්දන පෙරේරා (කණ්ඩායම් ප‍්‍රධානී), නුවන් සම්පත් (පුහුණුකරු) සහ ඞී.ආර්. දිසානායක (ක‍්‍රීඩිකාවන් භාර නිලධාරිනි) මෙම තරග සංචාරයට එක් වු නිලධාරීහු වෙති.