තේරීම් කාරක සභාවට නොතීසි


අග විනිසුරුට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීන්දුව අහෝසි කරන්නැයි ඉල්ලමින් ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ගොනු කළ පෙත්සම ජනවාරි 03 වැනිදා විභාගයට නියම කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණය වගඋත්තරකරුවනට නොතීසි නිකුත් කළේය. විභාගය අවසන් වනතුරු පැමිණිලිකාරිය (අග විනිසුරුවරිය) පීඩාවට පත් වන කිසිවක් නොකරන ලෙසත් වගඋත්තරකරුවනට දැන්වීය. එස් වී ස්කන්ධරාජා (සභාපති), ඒ ඩබ් ඒ සලාම් සහ අනිල් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳැවිණි. අග විනිසුරුවරිය චෝදනා තුනකට වැරදිකාරිය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කතානායක චමල් රාජපක්ෂ මහතාට සිය තීන්දුව පසුගිය දා බාර දුන්නේය. කමිටු සභාපතිවරයා වූයේ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාය. කමිටු තීන්දුව බාර දෙන විට විපක්ෂයේ සාමාජිකයන් තුන්දෙනා කමිටුව අපක්ෂපාතී නොවේ යැයි පවසමින් ඉන් ඉවත්ව ගොස් සිටියේ. කමිටුව පත් කළ කතානායක චමල් රාජපක්ෂ මහතාට ද, කමිටු සාමාජිකයන් 11 දෙනාට ද නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණය ලේඛකාධිකාරීට නියෝග කළේය.