තෙල් සංස්ථාව බේරාගෙන්න ඇමැති සේවකයන්ගෙන් උදව් ඉල්ලයි


විනීතා එම් ගමගේ
 
ආයෝජකයන් ඇතිව හෝ නැතිව ආයතන විකුණනන්නේ කොයි මොහොතේ දැයි  බලා සිටින බැවින් ඛණිජ තෙල් සංස්ථාවට ඒ ඉරණම අත් කර නොදී ආයතනය රැකගන්නට තමන් සමඟ එක්වන්නැයි ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය.

 
තෙවන පාර්ශ්වය හෝ සිව්වැනි පාර්ශ්වය යැයි කියමින් පසුගිය දිනවල සමහර රටවලින් යෝජනා ඉදිරිපත් වී යැයි ද මේ විවිධ වෙස් ගෙන එන පිරිස්වලින් ආයතන රැක ගත යුතු යැයි ද ඔහු කියා සිටියේය. තවත් පිරිසක් ඉදිරියේ දී මේ රට තුළට එන්නට ඉඩකඩක් ඇතැයි ද අමාත්‍යවරයා කීය.
 
විකුණන්නට නොදී රැක ගන්නා අභියෝගයට තමන්ට තනිවම මුහුණ දිය නොහැකි බැවින් තමන් සමඟ එක්වන්නැයි ද හෙතෙම සේවකයින් හා වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටියේය.
 
වියදම් අඩු කරමින් ආයතනය නිසි ක්‍රමවේදයක් අනුව ඉදිරියට ගෙන යන්නට සියලූ පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු යැයි ද ජනතාවට අවහිර වනසේ ඉල්ලීම් ඉල්ලන්ට කටයුතු නොකරන්නැයි ද හෙතෙම තව දුරටත් සේවක පිරිස්වලින් ඉල්ලා සිටියේය.
 
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (23) පැවැති සේවක ප්‍රණාම උළෙලක් අමතමිනි.

ඡායාරූප   චතුර එස් .කොඩිකාර