තුන් හැවිරිදි දරුවකුගේ හිසෙන් උණ්ඩයක් ඉවත් කරයි


චමිල් රුපසිංහ
 
අවුරුදු තුනක දරුවකුගේ හිසට වැදුණු උණ්ඩයක් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේදි  සාර්ථකව ඉවත් කළ බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩී  ආර් කේ හෙරත් මහතා පවසයි.
 
වගාවන් වලට හානි කරන රිලවුන් එළවා දැමීම සඳහා භාවිතා කරන වායු රයිපලයක් පත්තුවීම නිසා කෑගල්ලේ දරුවෙකු   අනතුරට ලක්වී කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබිණි.  මුලික ප්‍රථිකාර කර පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලට දරුවා මාරු කර යැවීය.
 
සැත්කම කළ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ උගුර,කණ, නාසය පිළිබද විශේෂඥ වෛද්‍ය සිසිර බන්ඩාර ඇතුල්ගම මහතා පැවැසුයේ දරුවාගේ දකුණු කන අසලින් ඇතුල් වි ඇති උණ්ඩය වම් පැත්තේ හිස් කබල දක්වා ගමන් කර ඇති බවයි.  ඉන් හිසේ ඇති ධමනියට හානි වුවානම් දරුවාගේ ජීවිතයට හානි විමට තිබු බවද විශේෂඥ වෛද්‍ය සිසිර බන්ඩාර මහතා පැවැසිය.
 
පේරාදෙණි සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ මෑතකදි ස්ථාපනය කරන ලද හදවත් කැතීටර් කරන ඒකකය තුල ඇති නවීන   ඒකකයේ ඒක්ස් කිරණ යන්ත්‍රය මගින් එම උණ්ඩය ඇති තැන තහවුරු කර ගැනිම සඳහා හෘද රෝග විශේෂඥ වෛද්‍ය  සුනේත්‍රා ඉරුගල්බණ්ඩාර මහත්මියගේ සහායද නොවඩුව ලැබුණු බව වෛද්‍යවරයා කීවේය.  සැත්කම සාර්ථකව නිම කිරීම සදහා පේරාදෙණිය ළමා රෝහලේ නිර්වින්දන  අංශයේ විශේෂඥ වෛද්‍ය කපිල හෙට්ටි ආරච්චි මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ   ද සහාය ඇතිව මෙම සැත්කම සාර්ථකව නිම කළ බව  ‍   විශේෂඥ වෛද්‍ය සිසිර බණ්ඩාර ඇතුල්ගම මහතා පැවසීය.
 
මෙවැනි අන්තරාදායක උපකරණ දරුවන්ට අසුවිය නොහැකි තැන් වලන් තැබිය යුතු බවත් දෙමාපියන් මෙයිට වඩා දරුවන් ගැන සෝදිසියෙන් සිටිය යුතු බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.  
 
පේරාදෙණිය සිරිමාවෝ බන්ඩාරණායක විශේෂිත ළමා රෝහලේ   ළමා ශෙල්‍ය දැඩිසත්කාර ඓකකය භාර  නිර්වින්දන  අංශයේ විශේෂඥ වෛද්‍ය කපිල හෙට්ටි ආරච්චි මහතා පැවැසුවේ සැත්කමින් පසු කෘතිම ස්වසන යන්ත්‍ර ආදාරයෙන් සිටි දරුවාගේ තත්ත්වය ඉතා යහපත් මට්ටමකට පත්වෙමින් තිබෙන බවයි.