තිළිණ ගමගේ ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කරයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ගොනු කළ  පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප‍්‍රභ කිරීමට අභියාචනාධිකරණය  අද (5)  තින්දු කළේය.
 
 තමා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව නීතිවිරෝධී අන්දමින් අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 25ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනෙන නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නොමැතිව වෙනත් විනිසුරුවරයකු හමුවේ විභාගයට ගන්නා ලෙසට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම ගොනු කර තිබිණි.
 
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු යන මහත්වරුන්  විසින් මෙම නියෝග නිකත් කෙරිණි.
 
අධිකරණ සංවිධාන පනතේ 46 වැනි වගන්තිය යටතේ අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ගොනු කර ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.තමන්ට එරෙහි අධි චෝදනා නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ අගතිගාමී ලෙසින විභාගය වන  බවත් , එහිදී තමන්ට යුක්තිව ඉටුවීම පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවද පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමේ සඳහන් වේ.

 එබැවින් තමාට එරෙහිව මහාධිකරණය හමුවේ විභාගය වන නඩුව වෙනත් විනිසුරුවරයෙකු වෙත යොමු කර විභාගයට ගන්නා ලෙසත් , මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද තිළිණ ගමගේ මහතා සිය පෙත්සමින් ඉල්ලා සිටී.
 
පෙත්සම්කාර තිළිණ ගමගේ මහතා වෙනුවෙන්  නීතීඥ ලක්නි සිල්වා මෙනවියගේ උපදෙස් මත ජනාධිපති  නීතීඥ නලින් ලද්දුවහෙට්ටි සහ නීතීඥ හෆීල්  ෆාරිස් යන මහත්වරුන් පෙනී සිටියහ. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.