පලාගල හිඟුරුවැව ඩී ඇම් අජිත් බණ්ඩාර ගොවි මහතාගේ නිවසේ අඩි තිහක් උසැති කොහොඹ ගසේ කඳෙන් දෙපැයකට වරක් ලොකු මුට්ටියක් පිරෙන තරමට රා වැනි දියරයක් දින දහයක දොළහක සිට වෑස්සෙයි.
පැණිරසයෙන් හා තිත්ත රසයෙන් යුත් මෙම දියරය රා මෙන් පෙණ දමයි.
එහෙත් කිසිවෙක් නොබොති.
ප්‍රාදේශීය ලේකම් සමන් කළුආරච්චි මහතා ගැමිනට උපදස් දී ඇත්තේ දරුවන් ඇතුළු සියලු දෙනා එම දියර නොබිය යුතු බවයි.
එහෙත් ඔවුහු ඒවා මුට්ටි හා බෝතල්වලට එකතු කරති.
ඇතැම් ගැමියන් කියනුයේ මෙය බීමට නොගත්තත් හොඳ පලිබෝධ නාශකයක් විය හැකි බවයි.
කොහොඹ ඇට, කොළ, මල් ආදිය ඉන්දියාවේ ඉතා ජනප්‍රිය පළිබෝධ නාශකයකි.
කොහොඹ ගසෙන් වෑස්සෙන සුදු පැහැති දියරය කලාතුරකින් කොහොඹ ගස්වල දක්නට ලැබෙන තත්ත්වයක් බව පරීසරවේදීහු කියති.
මේ පිළිබඳ අප කළ විමසීමකට පිළිතුරු දුන් පරිසරවේදියකු වන නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පැවසුවේ මෙවැනි අවස්ථා කිහිපයක්ම තමන් නිරීක්ෂණය කැර ඇති බවයි.
කොහොඹ ගසේ පත්‍ර සහ නටු ආදිය තිත්ත රසයකින් යුතු වුව ද මෙලෙස වෑස්සෙන දියරය තරමක් පැණි රසයකින් යුක්ත බව ද හෙතෙම පවසයි.
ගුණවර්ධන මහතා මෙසේ ද කීවේය.
‘මෙය ඉතාමත්ම කලාතුරකින් දැකිය හැකි තත්ත්වයක්. සාමාන්‍යයෙන් ශාකයක ආහාර පරිවහනය කරන්නේ ප්ලොයම මගින්. වියළි කලාපයේ දැඩි උෂ්ණත්වය හේතුවෙන් කොහොඹ ගස්වල කඳ පැලී යන අවස්ථා තිඛෙනවා. එවැනි විටෙක දී ශාඛයේ ප්ලොයොම මගින් ගෙනයන ආහාර එළියට පැමිණිය හැකියි. කොහොඹ ගසේ සියළු දේ තිත්ත වුනත් ශාකයේ ආහාරය ග්ලුකෝස් බවට පත්වී තමයි මේ ආකාරයෙන් එළියට එන්නේ. මෙය පැණිරසයි. ‘
ගුණවර්ධන මහතා පවසන්නේ විශාල කොහොඹ ගසක මෙය ඉතා වේගයෙන් සිදුවිය හැකි බවයි.
මෙම දියරය බීමට හෝ වෙනද් දෙයකට සුදුසු ද නැද්ද යන්න ගැන මෙතෙක් ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක පරීක්ෂණයක් කර නැත.