තිත් මුවෙකු මැරූ පුද්ගලයෙකුට මාස 03 ක සිර දඬුවමක්


(ක.ග.කරුණාරත්න)

ත්‍රිකෝණමඩුව ස්වභාව රක්‍ෂිතයට නීති විරෝධීව ඇතුළු වී තිත් මුවෙකු මරා මස් කිලෝ 03 ක් සන්තකයේ  තබාගෙන සිටිය දී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකරුවෙකු චෝදනාවලට වරද පිළිගනු ලැබීමෙන් පසු පොලොන්නරුව මහේස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා බරපතල වැඩ සහිත මාස 03 ක සිර දඬුවමක් සහ රුපියල් 70,000 ක දඩ මුදලක් අද (09) නියම කළේය.

මෙසේ සිරදඬුවම්  සහ දඩ මුදල් නියමවූයේ වැලිකන්ද , කුඩාපොකුණ , අංක 299 ලිපිනයේ පදිංචි මොහමදු නාච්චි ඉර්ෆාන් නැමැති පුද්ගලයෙකුටය.

ත්‍රිකෝණමඩුව ස්වභාව රක්‍ෂිතයට නීති විරෝධී ලෙස ඇතුළුවීම , දැඩි ආරක්‍ෂිත වන සතෙකු වන තිත් මුවෙකු ගෙල කපා මරා දැමීම , දැඩි ආරක්‍ෂිත සතෙකු වන මුවෙකුගේ මස් සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව වනජීවී නිලධාරීන් විසින්  නඩු පවරා තිබූ අතර විත්තිකරු සියලුම චෝදනාවලට විවෘත අධිකරණයේ වරද පිළිගත්තේය.

එහිදී 01, සහ 03 චෝදනා සඳහා එක් චෝදනාවකට රුපියල් 35,000 බැගින් දඩ නියම කළ මහේස්ත්‍රාත්වරයා  02 චෝදනාවට බරපතල වැඩ සහිත මාස තුනක සිරදඬුවමක් නියම කරනු ලැබීය.

පොලොන්නරුව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.ජී කීර්ති චන්‍ද්‍රරත්න මහතාගේ උපදෙස් පරිදී එම කාර්යාලයේ  වනජීවී අඩවි ආරක්‍ෂක ඩබ්ලිව්.එම්.කේ.විජේකෝන් මහතා ඇතුලු වනජීවී නිලධාරීහු කණ්ඩායමක් වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශනය සිදුකිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කළේය.