තැපැල් කාර්යාල සතියකට දින හතරක් විවෘත කරයි


(යොහාන් භාසුර)

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ  තැපැල් කාර්යාල සතියකට දින හතරක් පමණක් විවෘත කරන බවත් බඳාදා සහ බ්‍රහස්පතින්දා දෙදින තැපැල් කාර්යාල වසා තබන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (13) පස්වරුවේ පැවසීය.

තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට රජය පත්කිරීමත් සමඟ තැපැල් කාර්යාල සාමාන්‍ය පරිදි සතියකට දින හයක් විවෘතව තැබීමට පියවර ගත් බව කී තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිරෝධායන ඇඳිරිනීතියත් සමඟ ප්‍රවාහන දුෂ්කරතා පිළිබඳව වෘත්තිය සමිති ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අවධානය යොමු කර ජනමාධ්‍ය අමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡා කර මෙම තීරණයට එළඹි බවත් තැපැල්පතිවරයා සඳහන් කළේය.

තැපැල් කාර්යමණ්ඩල සාමාජිකයන් 500 කට වැඩි පිරිසක් සහ ඔවුන් පවුල්වල සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් මේ වන විටත් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති බවත් තැපැල් කාර්යාල 50 ක් පමණ පවත්වාගෙන යා නොහැකි තරමට කාර්ය මණ්ඩල සාමාජිකයන් ආසාදිතයන් බවට පත්ව සිටින බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩි දුරටත් කීය.