තැන්පත්කරුවෝ 3000 ක් මුදල් ඉල්ලීමෙන් හබරාදූව ග්‍රාමීය බැංකුව අර්බුදයක


(අමල් වික්‍රමරත්න)

හබරාදුව ග්‍රාමීය බැංකු සංගමයේ ශාඛා 12 ක ගනුදෙනු කරුවන් 3000 ආසන්න පිරිසක් සිය තැන්පත් මුදල් ආපසු ලබා ගැනීමට නොහැකිව මේවනවිට දැඩි අර්බුදයකට පත්වී සිටින බව කියති. ඇතැමෙක් ලක්ෂ 50 ඉක්මවූ මුදලක් තැන්පත් කර ඇති අතර තවත් පිරිසක් තම රැකියාවෙන් ඉවත්වීමෙන් පසු එකවර ලැබෙන මුදල ග්‍රාමීය බැංකුවේ තැන්පත් කර ඇති බවත් වාර්තා වේ.

මේ සියලුම ආකාර වලින් මුදල් තැන්පත් කළ සියලුම දෙනාට අද අත්වී ඇත්තේ තම මුදල් අහිමිවීමේ අවදානම පමණක් බව මෙම උද්ඝෝෂකයෝ පවසති.

තැන්පත් කරුවන් බොහෝ දෙනෙක් ගාල්ල පොලිසියට  සහ හබරාදුව පොලිසියට පැමිණිලි කලද මෙතෙක් තමන්ගේ මුදල් ලබා ගැනීමට ඒ කිසිවකින් පිහිටක් නොවූ බවත් අද උද්ඝෝෂණයට සහභාගී වීමට තීරණය කලේ ඉන්පසුව බවද පැවසීය.

හබරාදුව විවිධ සේවා සමුපාකාර සමිති සංගමයේ සභාපති සමන්ත වැලිගමගේ මහතාගෙන් මේ පිලිබදව කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙය දේශපාලන උසිගැන්වීමක ප්‍රතිපලයක් බවත් ඕනෑම බැංකුවක තැන්පත් කරුවන් සියල්ල එකවර මුදල් ඉල්ලා සිටියහොත් මෙවන් තත්වයක් ඇතිවීම සාමාන්‍ය දෙයක් බවත්ය. ගනුදෙනු කරුවන්ගේ මුදල් ලබා දීම තම වගකීම බවත් එය කිසිසේත්ම පහර නොහරින බවත් පවසන වැලිගමගේ මහතා මාස හයක් ඇතුලත පියවරෙන් පියවර මෙය විසඳීමට කටයුතු කරන බවද පැවසීය .

දැනට බැංකුවට අයවිය යුතු හිඟ මුදල් ප්‍රමාණය රුපියල්  කෝටි 26 බවත් තවත් මුදල් ප්‍රමාණයක් ණය වශයෙන් නිකුත් කර ඇති බවත් වසර ගනාවක හිඟ මුදලක්ද අයකර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග වල නිරත වීඇති බවත් වැලිගමගේ මහතා වැඩිදුරටත් පැවසීය. මේ අර්බුධය ඇතිවන තුරු සමුපාකාර සංගමය හොදින් ක්‍රියාත්මක වූ බවත් මෙය ඉවසා සිටිය නොහැකි පිරිසක් මෙම ක්‍රියාවට මුල්වී ඇතැයිද වැලිගමගේ මහතා  වැඩිදුරටත් පවසයි.  

හබරාදුව විවිධ සේවා සමුපාකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකු ජාලයේ මුදල් තැන්පත් කරුවන්ගේ තැන්පත් මුදල් ලබාගැනීමට ගියවිට එම මුදල් ලබා දීමට බැංකුව විසින් කටයුතු නොකිරීම නිසා උරණවූ තැන්පත් කරුවෝ අද උදෑසන ගාලු මාතර මහා මාර්ගය පැයකට ආසන්න කාලයක් වාහනගමනා ගමනය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.