තාත්තයි දුවයි කැනඩා අනතුරෙන් මරුට


ඇමෙරිකාවේ ප්ලොරිඩාවේ පස් දින නිවාඩුවක් ගත කැර කැනඩාවේ ටොරොන්ටෝ නුවර නිවසට එමින් සිටි ශ්‍රී ලාංකික පියෙක් ද දියනියක් ද අධිවේගී මාර්ග අනතුරකින් මරුමුවට පත්වූහ. මව බරපතල තුවාල ලැබීය. බීමත්ව සිටි බව කියන තරුණ රියැදුරා අධිවේගී මාර්ගයේ වැරැදි පැත්තේ ධාවනය කළ රියේ ශ්‍රී ලාංකිකයන් ගමන් කළ වෑන්රිය ගැටීමෙන් අනතුර සිදුවිය. ජයන්ත විජේරත්න (49) හා ඔහුගේ දියනිය එලීෂා (19) මියගිය දෙදෙනාය. ජයන්තගේ බිරිය ඇන්ටනට් බරපතල තුවාල ලැබීය. කැනඩා පොලිසිය ඉරිදා උදේ ඔවුන් පදිංචි ගෙදරට ගොස් දොරට තට්ටු කරන තුරු ජයන්ත විජේරත්නගේ පුත් බ්‍රයන් අනතුර ගැන කිසිත් දැන සිටියේ නැත. මාරක අනතුර සිදු කළ 19 හැවිරිදි රියැදුරා ද බරපතල තුවල ලබා රෝහල් ගත කරනු ලැබීය. අනතුර සිදු වීමට මද වේලාවකට කලින් බ්‍රයන්ගේ නැන්දා හා මාමා ඔවුන්ගේ ගෙදර බස්සවා ඇත. අනතුර සිදුවන විට කාරයේ සිටි පිරිස ඔවුන්ගේ ගෙදර සමීපයට පැමිණ සිටි බව කියති. ජයන්ත කැනඩාවේ හෝටලයක කළමනාකරුවෙක් විය. බ්‍රයන් ඉංජිනේරුවකු වීමට උගෙන ගනි. මියගිය එළීෂා  දෙළොස් වැනි ශ්‍රේණියේ උගනිය. ඇගේ බලාපොරොත්තුව වූයේ රසායන ඉංජිනේරුවරියක වීමයි.