ත්‍රස්ත නායක දිලීපන්ගේ ගුණ සැමරුම යාපනයේදී


(රොමේෂ් මධුෂංඛ)

කොටි සංවිධානයේ හිටපු සාමාජිකයකු වන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නමැත්තාගේ 30වැනි ගුණ සැමරුම අද (26) යාපනය නල්ලූර් කෝවිල පිටුපස ඇති ස්ථානයකදී දේශපාලන නියෝජිත පිරිසකගේ සහ සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්විණි.

යාපනය නල්ලූර් කොවිල පිටුපස පිහිටි දිලීපන්ගේ ස්මාර්කය තිබූ ස්ථානයේ ඔහුගේ ඡායාරූපයක් තබා දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා අමත්‍ය ආනන්දි ශෂිධරන් හා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිත  පිරිසකගේ ප්‍රධානත්වයෙන් ගුණ සැමරුම ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට යාපනය මෙන්ම කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවලින්ද සාමාන්‍ය වැසියෝ පැමිණියහ.

1987 සැප්තැම්බර් මස 15 වැනිදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයකක් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බව කියමිනි. එම උපවාසය අතරතුරදී ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද පැමිණ උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත් නොහැරීමෙන් සැප්තැම්බර් 26 වැනිදා ඔහු මිය ගියේය.

මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී ඇති අතර ත්‍රස්තවාදීන් විසින් එවකට ඔහු හැඳින්වූවේ ලුතිනන් කර්නල් දිලීපන් ලෙසිනි.