ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙක් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට


( තිළිණි ද සිල්වා )

ඕස්ට්‍රේලියාව තුළ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වී ඇතැයි කියන  චෝදනා යටතේ එරට සිඩ්නි නගරයේදී ශ්‍රී ලාංකික තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ගාඩියන් පුවත්පත් වෙබ් අඩවිය  (31) වාර්තා කළේය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එරට විශ්ව විද්‍යාලයක කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින්  සිටි විසිපස් හැවිරිදි ලාංකික තරුණයෙකි.


ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ බවට එල්ල  වී ඇති චෝදනා මත  අත්අඩංගුවට පත් තරුණයා නිව් සවුත් වේල්ස් හි කෙන්සිංටන් ප්‍රදේශයේ පදිංචිව සිට ඇතැයි අනාවරණය වී ඇත.

මෙම තරුණයාගේ ශිෂ්‍ය වීසා බලපත්‍රය සැප්තැම්බර් මාසයේ කල් ඉකුත් වීමට ඇති බවත් මීට පෙර කිසිදු වැරදි ක්‍රියාවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පොලීසියට මොහු පිළිබඳ වාර්තා වී නොමැති බවද ගාඩියන් වාර්තාවේ දැක්වේ.

නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයට සම්බන්ධව කටයුතු කළ කොන්ත්‍රාත් සේවකයෙකු වූ ඔහු සම්බන්ධයෙන් ඊයේ  (30) කළ සෝදිසි මෙහෙයුමකින් පසුව අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී  ඕස්ට්‍රේලියාව තුළ ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කළ බවට එර⁣ට ආරක්ෂක අංශ චෝදනා කර සිටී.

අදාළ ශ්‍රී ලාංකිකයාට එරෙහිව ත්‍රස්තවාදී චෝදනා යටතේ නඩු පැවරීමට  ඕස්ට්‍රේලියානු බලධාරින් කටයුතු කරනු ඇතැයිද ගාඩියන් වාර්තා වේ දැක්වේ.