(ඩයනා උදයංගනී)
එතනෝල් ගෙන්වීම සඳහා පනවා තිබූ තහනම නොතකා පසුගිය කාලයේ මෙරටට ගෙන්වා ඇති සියලුම එතනෝල් රාජසන්තක කරන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
තහනම නොතකා ගෙන්වූ එතනෝල් විශාල ප්‍රමාණයක් වරායේ රඳවා තිබෙන බව කී ඇමතිවරයා වෙනත් ඛේත අංක භාවිතයෙන් එතනෝල් ගෙන්වන බවටත් චෝදනා තිබෙන බව සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් රේගුව දැනුවත් කර තිබෙන අතර ඉදිරියේදී එම කටයුතු නැවැත්වීම සඳහා පියවර ගන්නා බව ද වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (25) පැවති මාධ්‍ය හමුව අමතමිනි.
රජය සතුව පවතින පැලවත්ත හා සෙවණගනල සීනි කර්මාන්තශාලාවල සීනි නිෂ්පාදනයේ දී අතුරුපලයක් ලෙස ලැබෙන එතනෝල් රටට ප්‍රමාණවත් බැවින් එතනෝල් ආනයනය කිරීමේ තහනම ඉදිරයේදී හෝ ඉවත් කරන්නේ නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
මේ වන විට මෙරට එතනෝල් සඳහා ස්ථාවර මිලක් ඇතිකර තිබෙන බැවින් මෙතෙක් කල් පාඩු ලැබූ එම සීනි කර්මාන්තශාලා විශාල ආදායමක් ලබන බවත්, ඒවායේ සේවකයින්, උක්ගොවීන් ඇතුළු 50,000කගේ පමණ රැකියා මෙයින් සුරක්‍ෂිත වන බවත් ඇමතිවරයා පැවසීය.
මෙරට එතනෝල්වලින් නිෂ්පාදනය කරන මධ්‍යසාරවල ගුණාත්මකභාවයේ ගැටලුවක් ඇති බවට ඇතැම් නිෂ්පාදකයින් පිරිසක් පතුරුවන ප්‍රචාරයන්හි කිසිඳු සත්‍යතාවයක් නැතැයි ද රමේෂ් පතිරණ මහතා කීවේය.
ඇතැම් කර්මාන්තවලට අවශ්‍ය කාබනික එතනෝල් සුළු ප්‍රමාණය ගෙන්වීමට අවසරයදීම හැර යළිත් එතනෝල් ආනයනය කිරීමක් නොවන බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

