තවත් විශ්මිත සැත්කමක්


මන්නා පහරකින් වම් අත මුළුමනින්ම වෙන්වූ තරුණයකුගේ (31) අත පැය 10යි විනාඩි 30ක සැත්කමකින් පසු සාර්ථකව බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු පිරිසක් සමත් වූහ. සීමා සහිත පහසුකම් මැද මාසයකදී සිදුකළ දෙවැනි සැත්කම මෙයයි. පසුගිය 21 වැනිදා කෑගල්ලේ තරුණයකුගේ අතක් මන්නා පහරකින් සම්පූර්ණයෙන්ම වෙන් විය. වෙන්වූ අතද සමග කෑගල්ල රෝහලට ගෙන ආ රෝගියා රාත්‍රී 10.45ට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරනු ලැබීය. ඒ වන විට සැත්කම සඳහා සියල්ල සූදානම් කර තිබිණි. මූලික ප්‍රතිකර්මවලින් පසු රෝගියා නිර්වින්දනය කර රාත්‍රී 11.30ට ඇරඹි සැත්කම අවසන්වූයේ පසුදින (22) උදේ 9.00 ය. කැපී ගිය ඇට කම්බි ආදාරයෙන් මුලින්ම බද්ධ කෙරිණි. පසුව අතේ ඉදිරිපස හා පසුපස මාංශපේෂි හා කණ්ඩරා බද්ධ කැරිණි. අනතුරුව ශල්‍යාගාර අන්වීක්ෂ ආදාරයෙන් ප්‍රධාන ස්නායු තුනක් බද්ධ කර ප්‍රධාන ධමනි දෙකක් හා ශිරා තුනක් ද බද්ධ කරනු ලැබීය. පිට සම මැසීමෙන් පසු සැත්කම අවසන් විය. මෙම සැත්කම පෞද්ගලික රෝහලක කරන්නේනම් වියදම රුපියල් ලක්ෂ 20 ඉක්මවන බව වෛද්‍ය මතයයි. ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍යෙ වෛද්‍යවරු සිදු කළ මේ සැත්කමට රෝගියාට සත පහක්වත් වැය නොවීය. විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා හා විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ධම්මික දිසානායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී අමිල සිරිවර්ධන සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී අමිල රත්නායක යන මහත්වරු මේ සැත්කම සිදු කළහ. විකලාංග ශල්‍ය වෛද්‍යවරුන් වන සුරාන් අල්මේදා හා චෙලියන් මහත්වරුද, නිර්වින්දන වෛද්‍ය සුරංගි ෆනෑන්ඩු මහත්මිය ද, ශල්‍යාගාරයේ හෙද හා උපස්ථායක කාර්ය මණ්ඩලයද සැත්කම සඳහා දායක වූහ. (ඡායාරූප - තරිඳු ජයවර්ධන සහ අමිල සිරිවර්ධන) ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් වන අමිල සිරිවර්ධන සහ අමිල රත්නායක ශල්‍යාගාර අන්වීක්ෂ ආදාරයෙන් ස්නායු බද්ධ කරමින් සැත්කම සිදු කළ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන මහතා සැත්කම සිදු කළ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල රත්නායක මහතා කාර්ය මණ්ඩලය