තමිල්නාඩු පොලිසිය ඊළාම් සමුළුව තහනම් කරයි


දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර දී සඳුදා පැවැත්වීමට නියමිත ඊළාම් සමුළුවට ඉඩ නොදෙන බව තමිල්නාඩු පොලිසිය එහි කැඳැවුම්කරු ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂ නායක එන් කරුණානිධිට දැන්වීය. එහෙත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර සමුළුව කෙසේ හෝ පවත්වන බව කරුණානිධි පවසයි. ඉන්දියා මහා ආණ්ඩුව ද ප්‍රාන්ත රජය ද මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පතා ඇත. ඉන්දියා මහා ආණ්ඩුව පැහැදිලිව අවධාරණය කර ඇත්තේ දෙමළ ඊළාම් ආධාරකරුවන්ගේ සංවිධානයේ (ටෙසෝ) මෙම සමුළුවේ දී ඊළාම් යන වචනය කිසිම ආකාරයකින් යොදා ගැනීමට ඉඩ නොදෙන බවයි. කරුණානිධි විසින් ටෙසෝ සංවිධානය ඇති කැරුණේ 1980 වේදීය. සමුළුව තහනම් කිරීමට හේතු කිසිවක් පොලිසිය කියා නැතත් රජයේ රෝහලක් ආසන්නයේ පුංචි ක්‍රිඩාංගනයක පැවැත්වීමට නියමිත මේ සමුළුවට එන බව කියන අති විශාල ජනතාවට එම පිටිය ඉඩ නැති බව පෙන්වා දෙයි.ඩී.එන්.කේ පක්ෂ මුරහෙළ පුවත්පත සඳහන් කරනුයේ ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් ලක්ෂයකට අධික පිරිසක් පැමිණෙන බවයි. සමුළුවට එන වාහන 1250 නිසා ප්‍රදේශයේ දැඩි තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය කියයි. මේ සමුළුව සම්බන්ධයෙන් බොරු කතා පතුරුවා ඇතැයි ද කොටි හිතවාදීන් හා අන්තවාදීන් ඊට එතියි කියන කථාව සම්පූර්ණ අසත්‍යක් බව ද කරුණානිධි පවසයි. නීතියට ප්‍රකාරව උසාවියට කරුණු ඉදිරිපත් කර සමුළුව පවත්වන බව ඔහු අවධාරණය කරයි. දෙමළ ජාතික සංධානය එම සමුළුවට යන බව කියා තිබිණි. එහි යෑමට අවසර ඉල්ලූ  ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නට කොළඹ ඉන්දියා මහා කොමසාරිස් කාර්යාලයයෙන් වීසා නොලැබිණි.